ගුවන් හමුදාවේ දෑත් ශක්තිමත් කිරීම උදෙසා තවත් නිළධාරීන් හා ගුවන් භටයින් රැසක් නිත්‍ය සේවයට
5:54pm on Monday 20th September 2010
අංක 51 කැඩෙට් නිළධාරී පාඨමාලාව, අංක 146 නිත්‍ය ආධුනික ගුවන් භට පාඨමාලාව සහ අංක 07 ගුවන් භට සෘජු බඳවාගැනීම් පාඨමාලාවන් හැදෑරූ කැඩෙට් නිළධාරීන්ගේ හා ගුවන් භටයින්ගේ විසිරයාම පසුගිය සැප්තැම්බර් මස 17 වෙනි දින චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලැබිණි.

මෙම පාඨමාලාවන් නියෝජනය කරමින් කැඩෙට් නිළධාරීන් 38 දෙනෙකු අධිකාරීත්වයට පත්වීම හා ගුවන් භටයින් 112 කගේ විසිරයාම මෙදින සිදුකරන ලදී. මෙම විසිර යාමේ පෙළපාලියේ ප‍්‍රධාන ආරධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සහභාගී විය.

මෙම කැඩෙට් නිළධාරීන් අතර ගුවන් නියමුවන් 20 දෙනකු අන්තර්ගත වූ අතර ඉතිරිය සැපයුම්, පරිපාලන, මෙහෙයුම් ගුවන් හා රෙජිමේන්තු යන අංශයන් නියෝජනය කරනු ලබයි. වසර තුන හමාරක දුෂ්කර පුහුණුවකින් අනතුරුව මෙසේ අධිකාරී නිලයට පත්වන කැඩෙට් නිළධාරීන් දියතලාව පුහුණු කඳවුරේ සති 20 ක පමණ මූලික ගොඩබිම් සටන් පුහුණුවකින් අනතුරුව චීන වරාය ගුවන් හමුදා පුහුණු පාසලේ මූලික පුහුණුවීම් හා විශේෂ හා උසස් පුහුණුවීම් දියතලාව පුහුණු කඳවුරේ හා චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී නිම කරන ලදී.

එසේම විසිරයන ආධුනික ගුවන් භටයින් 112 දෙනා සති 16 ක පමණ මූලික ගොඩබිම් සටන් පුහුණුව චීන වරාය ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලෙන් සම්පූර්ණ කරන ලදී. එම පුහුණුව අතිශය වෙහෙසකර මෙන්ම මනා කැපවීමකින් හා සංයමයකින් යුතුව සිදු කරන ලද්දකි. එහිදී දිවා රාත‍්‍රී පුහුණුව, ශාරීරිකව මෙන්ම මානසිකවද ලබා දෙමින් දක්ශ, විනයගරුක, කාර්යශූර ගුවන් භටයෙකු බවට පත්කරමින් නිම කරන ලදපුහුණුවට පා සරඹ, අවි සරඹ, අවි පුහුණුව, සිතියම් කියවීම, ක්ෂේත‍්‍ර ශිල්පය, සැඟවීම සහ වෙස් වලාගැනීම, මෙන්ම ගුවන් හමුදා නීතිය, ගුවන් හමුදා සංවිධානය හා පරිපාලනය ඇතුළත් වන ලදී. එසේම ඔවුන් හට ප‍්‍රථමාධාර, පුපුරණ ද්‍රව්‍ය හා කැලෑ සටන් පුහුණුවද ලබා දීම මෙම පාඨමාලාව තුළ සිදු කරන ලදී.

පෙළපාලියේ සමාරම්භය සටහන් කරමින්  ප‍්‍රධාන ආරාධිත අමුත්තා පෙළපාලි භූමියට කැඳවාගෙන ඒම සිදු කරන ලදී. ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් ආරාධිත අමුත්වා වශයෙන් සහභාගී වූ ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පෙළපාලි භූමියට කැඳවාගෙන ඒම සිදු කරන ලදී.

ප‍්‍රධාන ආරාධිත අමුත්තා හට සම්මාන පිරිනැමීමෙන් අනතුරුව පෙළපාළියේ ප‍්‍රධානතම අංගය වූ කැඩෙට් නිළධාරීන් අධිකාරීත්වයට පත්කිරීම ප‍්‍රධාන ආරාධිත අමුත්තා අතින් සිදු කරන ලදී. කැඩෙට් නිළධාරීන්ගේ අධිකාරීත්වය සනිටුහන් කරමින් සංකේතාත්මක අසිපතක් පිරිනැමීම සිදු කරන ලදී. එසේම කැඩෙට් නිළධාරී පාඨමාලාවේ දක්‍ෂතම කැඩෙට් නිළධාරියාට හිමි සම්මාන සංකේතවත් කරමින් ගෞරවනීය අසිපතට හිමිකම් කියන්නට කැඩෙට් නිළධාරී පෙරේරා එම්.ඞී.ආර්. සමත් විය. මෙම මූලික පෙළපාළියට අණ දීම චීන වරාය යුධ පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඉන්ද්‍රජිත් වීරසූරිය විසින් සිදු කරන ලදී.

ඉන් අනතුරුව මෙතෙක් පෙළපාලියට අණදෙනු ලැබූ විංග් කමාන්ඩර් ඉන්ද්‍රජිත් වීරසූරිය විසින් අභිනවයෙන් අධිකාරීත්වයට පත්වූ නියමු නිළධාරී එම්.ඞී.ආර්. පෙරෙරා හට පෙළපාළියේ ඉදිරි වැඩ කටයුතු භාර කරමින් පෙළපාලි භූමියෙන් නික්ම යන ලදී.

ඉන් අනතුරුව පෙළපාලිය නිරීක්‍ෂණය කිරීම ප‍්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදු කරන ලද අතර එම අවස්ථාවට ගුවන් හමුදාධිපතිතුමන් හා චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිළධාරී තුමන් සහභාගී විය. පෙළපාලි නිරීක්‍ෂණයෙන් අනතුරුව ආචාර පෙළපාලිය සිදු කරන ලද අතර එය බලඝණ හතරකින් සමන්විත විය. මෙහිදී ආරාධිත අමුත්තන් හට ආචාර සිදු කරමින් පෙළපාලි භූමිය වටා ගමන් ගත් පෙළපාලිය විශේෂ ආචාර පීඨිකාව අභියසට පැමිණ ප‍්‍රභූ සම්මාන පුද කරන ලදී.

ඉන් අනතුරුව ගුවන් නියමුවන් ලෙස අධිකාරී නිලයට පත් අභිනව නියමු නිළධාරීන් හට පියාසර ලාංඡුන පැළඳවීම ප‍්‍රධාන ආරාදිත අමුත්තා අතින් සිදු කරන ලදී. එසේම කැඩෙට් නිළධාරී පාඨමාලාවේ දක්ෂතා දැක්වූ කැඩෙට් නිළධාරීන්ට හා ආධුනික ගුවන් භට පාඨමාලාවේ විශේෂ දක්ෂතා දැක්වූ ගුවන් භටයින් හට සම්මාන ප‍්‍රදානය කිරීමද ප‍්‍රධාන ආරාධිත අමුත්තා අතින් සිදු කරන ලදී.

එසේම ආදුනික ගුවන් භට පාඨමාලාවේ විශේෂ දජෂතා දැක්වූ ගුවන් භටයින් හට සම්මාන ප‍්‍රදානය කිරීමද සිදු කරන ලදී. මෙහිදී සෑම අතින්ම දක්‍ෂතම ආධුනික ගුවන් භටයාට හිමි සම්මානයට හිමිකම් කියන්නට ආධුනික ගුවන් භට පෙරේරා ඞී.ඞී.ජේ. සමත්කම් දක්වන ලදී.

ඒ අතරතුර පෙළපාලි භූමිය වර්ණවත් කරමින් ගුවන් යානා පෙළක් පෙළපාලි භූමි අහසේ තම වස්කම් පෙන්වන ලදී. එහිදී චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ පළවන මූලික ගුවන් නියමු පුහුණු පක්‍ෂාංගයේ පී.ටී. 06 වර්ගයේ ගුවන් යානා හයක් පෙළපාලි භූමියට ඉහල අහසේ තම අභිමානය විදහා පාමින් පියාසර කරන ලදී.

ඉන් අනතුරුව දේශයේ විජයග‍්‍රහණය වෙනුවෙන් අභිමානවත් මෙහෙවරක් ඉටු කරන ලද අංක 12 බළඝනයේ මිග් 27 ප‍්‍රහාරක ගුවන් යානාවන් තුනක් තම විකුමන් පාමින් ඉහල අහසේ කරනම් ගසමින් පෙළපාලිය වර්ණවත් කරන ලදී. බලඝණ නායක අසේල ජයසුන්දර, බලඝණ නායක ඉන්දික පේ‍්‍රමදාස හා බලඝණ නායක ක‍්‍රිෂාන්ත කපුගම විසින් එම මිග් 27 යානාවන් හසුරවන ලදී.

ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පෙළපාලිය ඇමතීමෙන් අනතුරුව පෙළපාලිය පෙළපාලි භූමියෙන් පිටතට යාම සිදු කරන ලදී.

මෙහිදී පෙළපාලිය වර්ණවත් කරමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මිලිටරි තූර්ය වාදක කණ්ඩායම විසින් සිදු කරන ලද තුර්ය වාදක සංදර්ශනයත්, උසස් අවිකරු පුහුණු පාඨමාලාව විසින් සිදු කරන ලද යවුල් සරඹ සංදර්ශය හා ආධුනික ගුවන් භටයින් විසින් ඉදරිපත් කරන ලද සරඹ සංදර්ශනය පැමිණ සිටි ආරධිත අමුත්තන් හා නරඹන්නන් රසවත් කරන්නට සමත් විය.

මෙසේ අභිමානවත් පෙළපාලියකින් අනතුරුව අධිකාරී නිලයට පත්වූ නිළධාරීන් හා විසිර යන ලද ගුවන් භටයින් ඉදිරි අනාගතයේ ශ‍්‍රී ලංකා මාතාව සුරක්‍ෂිත කිරීමේ කාර්යයෙහි නිරිත වන්නට ඇප කැප වෙයි. කිසියම් මෙහොතක හෝ  එල්ල වන සතුරු උවදුරකින් ලක් අඹර සුරැුකීමේ අභිත අදිටන පෙරදැරි කරගෙන ගුවන් හමුදා නිත්‍ය සේවයට අනුයුක්ත වන ඔවුන් හට දේශයේ අනාගතය සුරක්‍ෂිත කරන්නට ධෛර්යය ශක්තිය ලැබේවායි අප ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමු.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි