කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය 2018 ඇරඹෙයි
11:29am on Friday 19th October 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිව්වන වරට සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය අද (2018 ඔක්තෝම්බර් මස 18 වන) දින රත්මලාන,අත්තිඩිය, ඊගල්ස් ලේක්සයිඩ් උත්සව සහ සම්මන්ත‍්‍රණ ශාලාවේදී ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.

තිරසර සංවර්ධන, වනජීවී සහ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා, ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, විදේශ රටවල මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, නාවික හමුදාධිපතිතුමන්, පොලිස්පතිතුමන්, විශ‍්‍රාමික ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිවරුන්, ත‍්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන්, ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිළධාරීන්, විවිධ රටවල හමුදා නියෝජිතයින් සහ ආරාධිත විද්වතුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආරම්භක දිනය වන අද දින ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඩබ්. එම්. කේ. එස්. පී. වීරසිංහ හැදින්වීමේ දේශනය පවත්වනු ලැබූ අතර, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ”ශ‍්‍රී ලංකාවේ භූ-මූලෝපායික වැදගත්කම සනාථ කිරීම සදහා ගුවන් උපාය මාර්ග” යන තේමාව කොටගත් මෙවර සම්මන්ත‍්‍රණයේ සමාරම්භක දේශනය පවත්වන ලදී. මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් ශ‍්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම පිළිබදව හේතු දැක්වූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක‍්‍රියාත්මක ”2025 දර්ශනය” ජාතික 2025 දර්ශනය හා සමගාමිව නිර්මාණය කොට ඇතිබවත්, ගුවන් හමුදාව මගින් ගුවන් බලය භාවිතා කිරීම සදහා ආරම්භ කරන ලද ප‍්‍රධාන ප‍්‍රතිපත්තිය වන ”ගුවන් හමුදා මූලධර්ම” අභිනවයෙන් හදුන්වාදීමට හැකිවීම මහත් ආඩම්බරයක් බව ප‍්‍රකාශ කරන ලදී.
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් ප‍්‍රධාන දේශනය පවත්වන ලදී.

මෙහිදී මෙම අවස්ථාව සහිපත් වීම පිණිස ගුවන් හමුදාධිපතිතුමන් විසින් අතිගරු ජනාධිපතිතුමන් හට සමරු තිළිණයක්ද ප‍්‍රදානය කරන ලදී.

අද දින පළමු සැසිය, ”ස්ව ආවේනික වාසි භාවිතා කිරීම” මාතෘකාව යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් තලය ආරක්‍ෂා කිරීම සඳහා තම භූගෝලීය පිහිටීම ප‍්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳව සාකච්ජා කරන ලදී. එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ විසින් මෙම සැසිය මෙහෙයවනු ලැබීය. දෙවන සැසිය, ”මීලඟ පරම්පරාවේ ගුවන් හමුදාව” යන මාතෘකාව යටතේ කුඩා සමුද්‍රීය රටක් සඳහා ගුවන් උපාය මාර්ග වනුයේ කුමක්ද? යන්න පිළිබඳව සාකච්ජා කරන ලදී. මෙම සැසිය රාජකීය ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් ෆේ‍්‍රසර් නිකොල්සන් විසින් මෙහෙයවනු ලැබීය.

”සංවර්ධනය වන ගුවන් බලයෙහි ගතික ස්වභාවය” තුන්වන සැසියෙහි මාතෘකාව වන අතර එමගින් රටක ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා වර්ධනය සහ සංවර්ධනය උත්තේජනය කිරීමට ගුවන් බලය දායක වන ආකාරය සාකච්ඡුා කරන ලදී. මෙම සැසිය එයාර් වයිස් මාර්ෂල් ඒඩබ්ඊ විජේසූරිය විසින් මෙහෙයවන ලදී. ”රැකියා තුළ සමානකම”, යන මාතෘකාව යටතේ අවසන් සහ සිව්වන සැසිය තුළදී කලාපීය ගැටළු හා අභියෝග සඳහා සටන් කිරීම සඳහා කලාපයේ ගුවන් හමුදා සහ ගුවන් සේවා ඒකක ඒකාබද්ධ කළහැකි ආකාරය පිළිබඳ සාකච්ජා කරන ලදී. මෙම සැසිය රාජකීය  ඕස්ටේ‍්‍රලියානු ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් සියැන් අන්වින් විසින් මෙහෙයවන ලදී.

හෙට දින 2018 කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණයේ දෙවන සහ අවසන් දිනය වෙයි. එය සැසි දෙකකින් සමන්ත අතර දේශීය සහ දේශීය දේශකයන් සිව් දෙනෙකු විසින් සිය දැනුම හුවමාරු කර ගැනීමට නියමිත වෙයි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි