අංක 12 සහ 13 රෙජිමේන්තු විශේෂ බලකා මූලික පාඨමාලාව විසිරයයි
4:29pm on Wednesday 26th December 2018
ශී‍්‍ර ලංකාවේ  පැවති රුදුරු ත‍්‍රස්ත කි‍්‍රයාකරකම් වැඩි වීමත් සමගම ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා සතුරු ප‍්‍රහාරයන්ට ලක් වීමත් ගුවන් නියමුවන් සහ සෙසු නිළයන් අතුරුදහන් වීමත් ඒවා ආරක්‍ෂා කිරීම හා මුදවා ගැනිීමේ අවශ්‍යතාවය  වර්ෂ 1990 සහ 2000 යන කාල වකවානුව තුලදී දැඩිව දැනුණි. ඊට අමතරව  2002 වර්ෂයේ රත්නපුර ප‍්‍රදේශයේ ඇති වු නාය යාම සහ ගංවතුර උවදුරින් විශාල ජීවිත හානියක් සිදු වු  අතර ඒ සඳහා ගොඩබිම් මාර්ගය ඔස්සේ සහන කටයුතු සැලසීම ඉතා අසීරුවිය. එනමුත් එවකට ගුවන් හමුදාව සතුව ගුවන් යානා තිබුනද ඒවායින් හදිසි ආපදා සහ ජාතික ව්‍යසනයකදී ගුවන් මගින් දිවි ගලවා ගැනීමේ පුහුණුව ලත් කණ්ඩායමක් නොතිඛිණි. ඒ අනුව එවන් පුහුණුවක් සහිත විශේෂ බලකායක් ඇති කිරිමට  එවකට ගුවන් හමුදාපතිව සිටි එයාර් මාර්ෂල් ජයලත් විරක්කොඩි මහතා අදහස් කරන ලදී.

2003 වසරේ ගුවන් හමුදාධිපති වශයෙන් කටයුතු කල එයාර් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා මහතාගේ අනුමැතිය මගින් 2003 ජුලි මස 07 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ එවකට අණදෙන නිළධාරී වශයෙන් කටයුතු කළ වත්මන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ නායකත්වයෙන් ගුවන් හමුදාව තුළ ගුවන් කඳවුරු ආරක්ෂා කිරීමේ හා මුදවා ගැනීමේ බලඝණය එම කඳවුරේදී ස්ථාපිත කරන ලදී. ඉන්පසු වර්ෂ 2006 දී තවදුරටත් මෙම බලඝණය මානව හා භෞතික සම්පත් වලින් සංවර්ධනය කොට රෙජිමේන්තු විශේෂ බලකා පක්‍ෂාංගය ලෙස ස්ථාපිත කරන ලදී.

මෙම විසිර යාමේ පෙළපාලියේදී අංක 12 හා 13 රෙජිමේන්තු විශේෂ බලකා මූලික පුහුණු පාඨමාලා සාර්ථකව හදාරා නිම කරන ලද නිළධාරීන් 04 දෙනෙක් සහ සෙසු නිළයන් 80 දෙනෙකු 2018 වසරේ දෙසැම්බර් මස 20 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුරු භූමිය තුළදි විසිර ගියහ.

මොරවැව ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය මගින් පවත්වන මාස 07 ක මූලික පුහුණු පාඨමාලාවෙන් අනතුරුව මාදුරුඔය ශ‍්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකා කඳවුර විසින් පවත්වනු ලබන මාස 02 ට ආසන්න කාලයක් පුහුණුවීම් කටයුතු සාර්ථකව නිම කිරීමෙන් පසුව රෙජිමේන්තු විශේෂ බලකා පක්‍ෂාංගයට ඇතුළත් වීම සදහා සුදුසුකම් ලබයි.

රෙජිමේන්තු විශේෂ බලකා පක්‍ෂාංගයේ වත්මන් අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් එච්එම්ටී නන්දක කුමාර විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ගුවන් හමුදාධිපතිතුමාගේ අනුමැතිය හා මෙහෙයුම් භූමි අධ්‍යක්‍ෂකතුමන්ගේ අධීක්‍ෂණය හා මඟ පෙන්වීම අනුව විශේෂ බලකා සොල්දාදුවෙකු වශයෙන් තම කැපවීම හා ධෛර්යය වෙනුවෙන් ලබා ගත හැකි ඉහළම ගෞරවය හා සම්මානය වන විශේෂ බලකායන්ට පමණක්  ආවේනික වු කළු පැහැති හිස් වැසුම පැලඳවීම හා රෙජිමේන්තු විශේෂ බලකා ලාංඡුන පැලඳවිම මෙහිදි සිදුකරන ලදී.

එහිදී  දක්‍ෂතම වෙඩික්කරු, ශාරීරික යෝග්‍යතාව අතින් දක්‍ෂතම ගුවන් භටයා සහ සැම අතින්ම දක්‍ෂතම ගුවන් භටයාට හිමි සම්මාන හා තිළිණ ප‍්‍රදානය කිරීමද සිදුවිය. මෙම  විසිර යැමේ පෙළපාලියට සමගාමීව මොවුන්ගේ පුහුණවීම් කාලය තුළ ලද විශේෂ පුහුණුව විදහා දැක්වීම සඳහා අවිරහිත සටන්, කඳවුරක් නැවත අත්පත් කර ගැනීම සහ ගොඩනැගිලි තුල සිරවී සිටින පුද්ගලයින් මුදවා ගැනීමේ නිදර්ශන ක‍්‍රියාන්විතයන් සිදු කරණ ලදී. මීට අමතරව ගුවන් හමුදා විශේෂ බලකාය විසින් තම සුවිශේෂී හැකියාවන් වන පැරෂුට් සංදර්ශන හා යතුරුපැදි සංදර්ශන මගින් මෙම පෙළපාලිය තවත් වර්ණවත් විය.

මේ වන විට මෙම රෙජිමේන්තු විශේෂ බලකා භටයින් ගුවන් හමුදාවේ සැම කඳවුරකම අනියුක්ත කර ඇති අතර එමගින් ශ‍්‍රී ලංකාව තුල  ඕනෑම ආපදා අවස්ථාවකදී ප‍්‍රථමයෙන් සහයට පැමිණීමේ හැකියාව ගුවන් හමුදාවට ලැබී ඇත.

පසුගිය කාල වකවානුව තුළ රටේ ඇතිවූ ගංවතුර තත්වයන්,  නායයෑම් වැනි ආපදා අවස්ථාවලදී මෙම විශේෂ බලකා භටයින් තම සුවිශේෂී දායකත්වය සැපයූ අතර ඉදිරියටත් එවැනි කි‍්‍රයාන්විත සඳහා අද දින විසිරයන මෙම ගුවන් භටයින් ගුවන් හමුදාවට විශාල ශක්තියක් වනු ඇත.

මෙම විසිර යාමේ පෙළපාලිය සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රෙජිමේන්තු විශේෂ බලකායේ නිර්මාතෘ වත්මන් ශ‍්‍රී ලංකා  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගී වු අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන් ඇතුළු අධ්‍යක්‍ෂක මණ්ඩලය, ති‍්‍රවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන් සෙසු නිළයන් සහ විසිර යන ගුවන් භටයින්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට සහභාගි වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි