ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංගංපොර සංචිතය ඇගයීමට ලක්කෙරේ
4:15pm on Monday 31st December 2018
සිරස ටීවී ආයතනය මගින් සංධීධානය කල "Sirasa Got Talant" කිරුල දිනාගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංගංපොර කණ්ඩායම 2018 දෙසැම්බර් මස 28 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ඇගයිමට ලක් කෙරිණි. ඒ සඳහා වන මුදල් ත්‍යාගයන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් එම තරඟකරුවන් වෙත පිරිනැමීම සිදු කෙරිණි.

ශ‍්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදා ඉතිහාසයේම ප‍්‍රථම අංගංපොර සටන් සංචිතය ලෙසට ඉතිහාස ගත වෙමින් ගුවන් හමුදා අංගංපොර සංචිතය වර්ෂ 2012 දී එවකට ගුවන් හමුදාධිපතිව සිටි එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ් සංකල්පයක් මත ආරම්භ කරන ලදී. සීතාවක රාඡධානියේ සටන් පෙළපත වූ කොරතොට ආරච්චිවරුන්ගේ පරපුරෙන් පැවත එන මෙහි වර්ථමාන පුරුක වන අජන්ත මහන්තආරච්චි මහතා එහි ප‍්‍රධාන උපදේශක ලෙස පුහුණු කටයුතු සිදු කරයි. අංගංපොර සංචිතයේ සභාපති ධූරය එදා සිට මේ  වනතුරුම එයාර් කොමඩෝර් කැමිලස් ලැබ්රෝයි විසින් දරනු ලබයි.

වියැකී යන දේශිය සටන් කලාවට නැවත පුනර්ජීවයක් ලබාදීමේ අරමුණ මුලික කොට ගෙන බිහිවු මෙම සංචිතයෙන් සැබැවින්ම දේශීය අංගං කලාව නඟා සිටුවීමට මනා සේවයක් ගුවන් හමුදාවෙන් සැලසේ. මෙම සටන් කලාව මුලිකවම ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායේ සහ විශේෂ ගුවන් විහිදුම් බලකායේ ගුවන් භටයින් හට ප‍්‍රභූ ආරක්ෂක රාඡකාරීන් වලදී ඉවහල් වන යම් අංගයන් ප‍්‍රගුණ කිරීම සඳහා යොදා ගන්නා ලදී.

අංගං සටන් ශිල්පය ව්‍යාප්ත කිරීම සදහා ඉවහල් වන අංගංපොර සංදර්ශණ කණ්ඩායමක්ද 2014 වර්ෂයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ස්ථාපිත කරන ලදී. ශී‍්‍ර ලංකාවේ විශේෂ සංස්කෘතික උළෙලවල් බොහොමයකට පාහේ අදවන විට මෙම අංගං සංචිිතයේ ශිල්පීන් තම සටන් හරඹ රඟ දක්වයි. වර්ථමාන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අංගංපොර සංචිතය වර්තමානයේ ඉතා ඉහල මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබී ඇත. එම දිරිගැන්වීම තුලින් ශී‍්‍ර ලංකාවේ අති දක්ෂතම කණ්ඩායම ලෙසට 2018 සැප්තැම්බර් මස 30 වන දින"Sirasa Got Talant" වේදිකාවේ ඔවුන් කිරුළ පැළඳීය.

අප දේශයට ආවේනික වූද උතුම් වු පාරම්පරික අංගං සටන් කලාවේ ප‍්‍රගතිය සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නිතැතින්ම මුලිකත්වය ගෙන කටයුතු කිරීමට ඇප කැපවී සිටී. මේ වන විට ගුවන් හමුදාව තවත් පියවරක් ඉදිරියට තබමින් වර්ෂ 1818 දී අංගංපොර සටන් ශිල්පය සඳහා පැනවු තහනම ඉවත් කරගැනිම සඳහා අවශ්‍ය පියවර ගනිමිින් සිටියි. 2018 දෙසැම්බර් මස 28 වන දින මෙම ඇගයිම් අවස්ථාව සඳහා ගුවන් හමුදාධිපති තුමන්, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී තුමන්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි