ගුවන් හමුදා 68 වන සංවත්සර සැමරුම් ප‍්‍රදර්ශනය සහ ගුවන් හමුදා පාපැදි සවාරිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්චාවක්
4:19pm on Wednesday 27th February 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සර සැමරුම් ප‍්‍රදර්ශනය සහ 20 වන ගුවන් හමුදා පාපැදි සවාරිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2019 පෙබරවාරි මස 20 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 68 වන සංවත්සරය 2019 මාර්තු මස 2 වන දින සමරනු ලබයි. මෙම වසරේදී සුවිශේෂී ප‍්‍රදර්ශනයක් සහ සැණකෙළියක් සහිතව අති උත්කර්ෂවත් අන්දමින් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී සැමරීමට සැලසුම් කොට ගෙන සිටී.

දේශය වෙනුවෙන් කැපවූ විශිෂ්ඨ සේවය අගයනු වස් ගුවන් හමුදා අංක 07 හෙලිකොප්ටර් බලඝණයට සහ අංක 08 සැහැල්ලු ප‍්‍රවාහන බලඝණයට පිරිනැමෙන ජනාධිපති වර්ණ ප‍්‍රදානය කිරීමේ පෙළපාලිය මාර්තු මස 02 වනද දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වේ.

මාර්තු මස 02 වන දින සිට 06 වන දින දක්වා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදි Air Tattoo 2019 ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙලිය පැවැත්වීමට නියමිතව ඇති අතර ප‍්‍රදර්ශනය හා සැණකෙලිය තුලින් ගුවන්යානා සංදර්ශන, ගුවන් හමුදාවේ අළුතින් පිහිටවූ ”බ්ලූ ඊගල්ස්” ගුවන් යානා සංදර්ශන කණ්ඩායමේ ගුවන් කරනම්, පැරෂුට් සංදර්ශන, රෙජිමේන්තු විශේෂ බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, තූර්ය වාදන සංදර්ශන, සරඹ සංදර්ශන, සංස්කෘතික සංදර්ශන සහ සංගීත සංදර්ශන ඇතුළු විවිධ අංගයන්ගෙන සමන්විත වේ.  මෙම සංදර්ශනය සහ සැණකෙලියේ පළමු දින උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිත් අතර දෙවන දින සිට අවසන් දින දක්වා සවස 2.00 ට ආරම්භ කරනු ලබයි. සෑම දිනකම මධ්‍යම රාත‍්‍රිය දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 20 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2019 මාර්තු මස 01, 02 සහ 03 යන දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සහ ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරියේ ප‍්‍රධාන අරමුණ වන්නේ පාපැදි තරග ශී‍්‍ර ලංකාව තුල ව්‍යාප්ත කිරීම හා පාපැදි තරගකරුවන් අතර තරගකාරීත්වය ඇතිකිරීම  වන අතර, මෙම තරගය ජාතික පාපැදි සම්මේලනයේ නීතිරීති වලට අනුව  පවත්වනු  ලබයි. අදියර තුනක් යටතේ පවත්වනු ලබන මෙවර පාපැදි සවාරියේ පිරිමි තරඟය කොළඹින් ආරම්භ වී මහනුවර, අනුරාධපුර, හබරණ හරහා පොලොන්නරුවෙන් අවසන් වන අතර එහි සමස්ථ දුර ප‍්‍රමාණය කිගමී 414 ක් පමණ වෙයි.

තරඟයේ ත්‍යාග ප‍්‍රදානෝතසවය 2019 මාර්තු මස 03 වන දින සවස 1700 පැයට හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වෙයි.

ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක සහ 68 වන සංවත්සර සමරුම් සංවිධායක කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එස්කේ පතිරණ, සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති සහ ගුවන් හමුදා පාපැදි සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය, 68 වන සංවත්සර සංවිධායක කමිටුවේ සාමාජික එයාර් කොමඩෝර් එස්කේ සේනාරත්න, ගුවන් හමුදා පාපැදි සංචිතයේ ලේකම් එයාර් කොමඩෝර් එල්එම්එස්කේ ලීලාරත්න, ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂක ගෲප් කැප්ටන් එම්ඩීඒජී සෙනෙවිරත්න, ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එන් කරුණාරත්න මහතා, ගුවන් හමුදා පාපැදි සංචිතයේ නිළධාරීන් සහ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙවර පාපැදි සවාරියේ සම අනුග‍්‍රාහකත්වය අබාන්ස් සමුහ ව්‍යාපාරය සහ ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම විසින් ලබාදෙනු ලබයි. විද්‍යුත් මාධ්‍ය සත්කාරය එම්බීසී/එම්ටීවී මාධ්‍ය ජාලය විසින් දරණු ලබයි. රක්‍ෂණ සහකරු වශයෙන් පීපල්ස් රක්‍ෂණ සමාගම මෙවර අත්වැල් බැඳ ගනු ලබන අතර අවසානයේ අනුග‍්‍රාහක චෙක්පත් භාරදීම සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි