ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිරස රූපවාහිනී නාලිකාව සමග එක්ව හිඟුරක්ගොඩදී සිංහල හින්දු අළුත් අවුරුද්ද සමරයි
4:04pm on Tuesday 23rd April 2019
සියළු ලක්වාසී ජනතාව සිංහල හින්දු අලුත්අවුරුද්ද සමරන මොහොතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිරස මාධ්‍ය ජාලය සමග එක්ව අළුත් අවුරුද්ද සමරමින් ”සිරස වසන්ත උදානය” හිඟුරක්ගොඩදී 2019 අපේ‍්‍රල් මස 13 වන දින පවත්වන ලදී.

මෙහිදී හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර මූලිකත්වය ගෙන කටයුතු කරමින් වසන්ත අදානය අවුරුදු උත්සවය හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක‍්‍රීඩාගනයේදී පැවැත්වීමට සිරස රූපවාහිනී නාලිකාව වෙත සිය දායකත්වය ලබාදෙන ලදී. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් බන්දු එදිරිසිංහගේ සහයෝගය සහිතව එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් සංවිධායක කමිටුවේ මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහභාගීත්වයෙන් උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහි සියළුම සංස්කෘතික අංගයන් ඉදිරිපත් කිරීම ගුවන් හමුදා නර්තන කණ්ඩායම විසින් සිදු කරන ලදී. ගුවන් හමුදා අංගම්පොර සංචිතය විිසින් ”අන්ගම් මැඩිල්ල” ඉදිරිපත් කරන ලද අතර එය නරඹන්නන් අමන්දානන්දයට පත්කරවන්නට සමත්විය.

බයිසිකල් ධාවන තරඟය සහ මාර්ග ධාවන තරඟය ජවසම්පන්න, ක‍්‍රීඩාශීලීත්වය මැනවින් ඉස්මතුවු තරඟ අවස්ථාවන් විය. අවුරුදු උත්සවයේ සුවිශේෂී අවස්ථාවක් වූ වසන්ත කුමරා සහ කුමරිය තේරීම නරඹන්නන් අති විශාල පිරිසකගේ ප‍්‍රීතිඝෝෂා මධ්‍යයේ සිදුකරන ලදී.

විශාල පිරිසක් සහභාගී වූ සිරස වසන්ත උදානයේ කොට්ටාපොර, කණා මුට්ටි බිඳීම, අලියාට ඇස තැබීම ආදී අවුරුදු ක‍්‍රීඩා රැසක් පවැත්විණි.

දිවයිනේ ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම විසින් සංගීතවත් කෙරුණු දැවැන්ත සංගීත ප‍්‍රසංගයකින් ගුවන් හමුදාව සහ සිරස මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කරන ලද සිරස වසන්ත උදානය නිමාවට පත්විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි