ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් කෙරේ
2:38pm on Monday 10th June 2019
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා 2019 ජූනි මස 04 වන දින පත්කරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි. ඔහු පාකිස්තාන ගුවන් හමුදාවේ උසස් නියමු පුහුණුව සඳහා තෝරාගනු ලැබූ නියමුවන් තිදෙනාගෙන් එක් අයෙකු වන අතර එහිදී ඔහු පාකිස්ථාන ගුවන් හමුදාව විසින් පිරිනමනු ලබන දක්‍ෂතම කැඩෙට් නිළධාරියාට හමි සම්මානයෙන්ද පිදුම් ලැබීය. ඔහු 1987 ජනවාරි මස 02 වන දින නියමු පොදු රාජකාරි ශාඛාවේ පයිලට් ඔෆිසර් නිළයේ අධිකාරිත්වයට පත්විය.

ඔහු චීනවරාය විද්‍යාපීඨයේ ස්ථාපිත අංක 03 බලඝණයේ නිරීක්‍ෂණ නියමුවෙකු වශයෙන් මෙහෙයුම් රාජකාරීන් අරඹන ලදී. එසේම ඔහු 1990 වසරේ චීන උපදේශකයින් යටතේ අංක 5 ජෙට් ප‍්‍රහාරක ගුවන් යානා බලඝණයේ එෆ්7 ගුවන් යානා පුහුණුව ලැබූ පළමු ශ‍්‍රී ලාංකික ගුවන් නියමුවන් සය දෙනා අතරින් එක් අයෙක්ද වෙයි. අනතුරුව ඔහු ඊශ‍්‍රායලයේ කෆිර් ප‍්‍රහාරක ගුවන් යානා පුහණුව ලබාගන්නා ලදී. ඔහු අංක 10 ප‍්‍රහාරක ගුවන් යානා බලඝණයේ නිළධාරී අණදෙන පුහුණු සහ නිළධාරී අණදෙන මෙහෙයුම් තනතුරු හොබවන ලද අතර අනතුරුව එහි අණදෙන නිලධාරීවරයා වශයෙවන් 2002 වසරේදී පත්විය. ඔහු 2007 වසර වනතෙක්ම එහි අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කරන ලදී. එසේම ගුවන් හමුදාවේ ප‍්‍රධානතම ප‍්‍රහාරක ගුවන් යානා බලඝණ තුනෙහිම අණදෙන නිලධාරීවරයා වශයෙන් කටයුතු කිරීමේ සුවිශේෂි අවස්ථාවක් ඔහුට හිමිවිය. ඒ 2000 වසරේදී අංක 05 (එෆ්7* බලඝණයේ සහ අංක 10 (කෆිර්* බලඝණයේ  අණදෙන නිළධාරීවරයා වශයෙන්ද අංක 12 (මිග්27* ප‍්‍රහාරක ගුවන් යානා බලඝණයේ වැඩබලන අණදෙන නිළධාරීවරයා වශයෙන්ද කටයුතු කරමිනි.  හමුදා ගුවන් නියමුවෙකුට අමතරව ඔහු ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වාණිජ ගුවන් යානා නියමු බලපත‍්‍රලාභියෙකු මෙන්ම නියමු පුහුණු අධීක්‍ෂඛයෙකුද වෙයි.

එයාර් වයිස් මාර්ෂල් පතිරණ මහතා ප‍්‍රහාරක ගුවන් යානා නියමුවෙකු, නියමු උපදේශකයෙකු සහ කෆීර් සහ එෆ්7 ප‍්‍රහාරක ගුවන් යානා ඇතුළුව ගුවන් යානා වර්ග 15 කට අධික ප‍්‍රමාණයක් යටතේ පියාසර පැය 3500 කට අධික ප‍්‍රමාණයක් පියාසර කල ක‍්‍රියාකාරී මෙහෙයුම් නියමුවෙකුද වෙයි. ඔහු විවිධ පියාසර මෙහෙයුම් රාශියකට දායක වී ඇති අතර එහිදී ඔහු විසින් දක්වන ලද වීරත්වය උදෙසා සය වතාවක් වීර පදක්කමින් පිදුම් ලබා ඇත. ඔහු අද වනවිට ගුවන් හමුදා ඉතිහාසයේ වැඩිම කෆීර් ගුවන් යානා මෙහෙයුම් ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක කල ශ‍්‍රී ලාංකික නියමුවා වෙයි.

එසේම, ඔහු රුසියානු සමූහාන්ඩුවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ආරක්‍ෂක නියෝජිතවරයා වශයෙන් 2007 වසරේ සිට 2009 වසර දක්වා කටයුතු කළේය. 2001 වසරේදී චීනවරාය විද්‍යාපීඨයේ පීඨාධිපති වශයෙන් පත්වීම් ලද අතර 2013 වසරේ කටුනායක ගුවන් හමුදා කඳවුරේද 2016 වසරේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේද අණදෙන නිළධාරීවරයා වශයෙන් පත්විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි