ජාතික රණවිරු දින සැමරුම් උත්සවය 2020
10:09am on Tuesday 26th May 2020
මාතෘ භූමියේ ස්වෛරීත්වය සුරකිනු වස් මාතෘ භූමියේ නාමයෙන් දිවි පිදූ ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් සිහිපත් කරමින් සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් 2020 ජාතික රණවිරු දින සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගන පරිශ‍්‍රයේ ස්ථාපිත රණවිරු ස්මාරකය අභියසදී 2020 මැයි මස 19 වන දින පවත්වන ලදී. ලොව පුරා ව්‍යාප්ත වී ඇති කොවිඞ්-19 වසංගත රෝග තත්වය හමුවේ සෞඛ්‍ය සේවාවන් මගින් ලබා දී ඇති උපදෙස් අනුව අවම පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුග‍්‍රහය යටතේ රණවිරු සේවා අධ්කාරිය මගින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමන්ගේ පැමිණිමෙන් අනතුරුව ජාතික ගීය ගායනයෙන් උත්සවයේ වැඩකටයුතු ආරම්භ කල අතර අනතුරුව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් නන්දන සේනාධීර මහතා විසින් පිළිගැනීමේ කථාව සිදුකරන ලදී. දේශයේ ස්වෛරීත්වය උදෙසා තම දිවි පූජා කල අභිත රණවිරුවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිහඬතාවයකින් අනතුරුව සියළු ආගමික වතාවත් සිදුකරන ලදී. අනතුරුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් සිය ජාතික රණවිරු දින සැමරුම් උත්සව සභාව අමතන ලදී.

අතිගරු ජනාධිපතිතුමන් විසින් උත්සව සභාව ඇමතීමෙන් අනතුරුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ශ‍්‍ර‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 4 ප‍්‍රභූ ප‍්‍රවාහන බලඝණයට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානාවන් තුනක් එහි අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අසේල කුරුවිටගේ ප‍්‍රධානත්වයෙන් අඩි 90 ක් උස රණවිරු ස්මාරකයට ඉහලින් පියාසර කරමින් ගුවනින් මල් දමා පුෂ්පෝපහාර දක්වන ලදී.

අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් විසින් දේශයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය ස්ථාපිත කරනු වස් තම දිවි පූජාකල අභිත රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පිදීම සිදුකරන ලදී. අනතුරුව ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන්, බස්නාහිර පලාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද ශ‍්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් විසින් දිවි පිදූ රණවිරුවන් සිහි කරමින් රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කරන ලදී. දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල් නියෝජනය කරමින් ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ දිවිපිදූ රණවිරුවන් කිහිපදෙනෙකුගේ සමීපතම ඥාතීන් විසින් රණවිරු ස්මාරකය අභියස සියළුම රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දක්වන ලදී.

ත‍්‍රිවිධ හමුදා බියුගල් වාදකයින් විසින් දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් දක්වන සාම්ප‍්‍රදායික අවසන් ආචාරය වන අවසන් ආචාරය සහ පිබිදීමේ වාදනයන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු අවසන් කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි