පානදුර මූලික රෝහලට බාහිර රෝගීන් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක්
8:50am on Tuesday 2nd June 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ මගපෙන්වීම යටතේ පානදුර මූලික රෝහල් පරිශ‍්‍රයේ බාහිර රෝගීන් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම 2020 මැයි මස 13 වන දින ආරම්භ කෙරිණි. මෙය ශ‍්‍රී ලංකාවේ ඉදිකරන ලද පළමු බාහිර රෝගීන් හඳුනාගැනීමේ මධ්‍යස්ථානය වන අතර කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ නොනවතින සටනක නිරත වන පානදුර රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහ සියළුම රෝගීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පානදුර රෝහල් පරිශ‍්‍රයේ ඉදිකිරීමට කටයුතු කෙරිණි.

මෙම මධ්‍යස්ථානය මගින් රෝගීන්ගේ තත්වයෙහි බරපතලකම හෝ ප‍්‍රථිකාර සහිතව හෝ නොමැතිව සුවය ලැබීමේ සම්භාවිතාවය අනුව රෝගීන්ගේ ප‍්‍රතිකාර වල ප‍්‍රමුඛතාවය තීරණය කිරීමේ ක‍්‍රියාවළිය ක‍්‍රියාත්මක කරනු ලබයි. මෙමගින් සම්පත් බහුලව නොමැති අවස්ථාවක කාර්යක්‍ෂමව අවශ්‍ය රෝගියාට ප‍්‍රථිකාර සඳහා යොමු කරවීමට හැකිවෙයි. මෙම ක‍්‍රමය හදිසි ප‍්‍රථිකාර, හදිසි ප‍්‍රවාහනය හෝ රෝගියාට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රථිකාරවල ප‍්‍රමුඛතාවය තීරණය කිරීමට ඉවහල් වෙයි.

කටුනායක සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගයේ ස්කොඩ්රන් ලීඩර් කසුන් වික‍්‍රමතුංග ගේ නායකත්වයෙන් ගුවන් භටයින් 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් හැකිතාක් කඩිනමින් ඉතාමත් කෙටි කාලයක් තුළදී නිමකිරීම සඳහා යොදවන ලදී. ඒ අනුව ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ දින 12 ක් වැනි ඉතා කෙටි කාලයකදී මෙහි ඉදිකිරීම් කටයුතු සියල්ල නිමා කරන ලදී.

මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා එසුෆාලි පවුල සහ හේමාස් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම මූල්‍ය දායකත්වය දක්වන ලදී. එසේම කොවිඞ් 19 වසංගතයෙන් ඔබත් රටත් ආරක්‍ෂා කරගැනීම සඳහා වූ විශේෂ ව්‍යාපෘතිය වන ”පෙරමග” ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පළමු ව්‍යාපෘතිය ද වෙයි.

හේමාස් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ සහ හේමාස් ඔෞෂධ සමාගමේ සභාපති මුර්ටාස් එසුෆාලි මහතාගේ බිරිඳ වන අවන්ති එසුෆාලි මහත්මිය විසින් අද (2020 මැයි මස 28 වන) දින මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු කරන ලදී. මෙම චාම් විවෘත කිරීමේ උත්සවය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර මහතා, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
 
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවන ලද ඉංජිනේරු ක‍්‍රියාවළිය සම්බන්ධිකරණය කරමින් එයාර් කොමඩෝර් උදුල විජේසිංහ සහ ආචාර්ය සංජේ පෙරේරා සම්බන්ධීකරණ කටයුතු සදුකරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි