ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය විසින් වනාන්තර නැවත වගාකිරිමේ ව්‍යාපෘතියේ නිරීක්‍ෂණ මෙහෙයුම් අඛන්ඩව ක‍්‍රියාත්මක කෙරේ
8:55am on Saturday 1st August 2020
ශ‍්‍රී ලංකාවේ  වන ඝණත්වය වැඩි කිරිමෙහිලා ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති ගණනාවක් සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ නායකත්වය යටතේ සිය සක‍්‍රීය අනුග‍්‍රහය දක්වමින් නොච්චියාගම රනෝරාව රජයේ වනාන්තර ප‍්‍රදේශය සහ අම්පාර ලාහුගල ජාතික වනෝද්‍යානය ආශ‍්‍රිතව බීජ ඉසිමේ ව්‍යාපෘති සඳහා ගුවන් හමුදාවේ දායකත්වය දක්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මෙම සුවිශේෂි කාර්යට දායකත්වය සැපයිම තුලින් සිය ස්වකීය අභිමානය වන ගුවන් බලය මගින් තම ප‍්‍රධාන අරමුණ වන ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට අමතරව තම මාතෘභූමියේ අනාගත පරම්පරාව වෙනුවෙන් හරිත අනාගතයක් දායාද කිරීම උදෙසා ඉමහත් සතුටින් මෙම ව්‍යාපෘතිය සදහා කැපවී සිටි.

මෙම ව්‍යාපෘතිය ක‍‍්‍රියාවට නැංවීම සදහා කටුනායක ගුවන් හමුදා කඳවුරු විධායක කෘෂි ඒකකය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මාස් හෝල්ඩින් පුද්ගලික සමාගම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය සමග අත්වැල් බැදගන්නා ලදි. ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන වර්ෂ 2030 වන විට හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරිම මෙමගින් අපේක්ෂා කරන මුලික අරමුණ වේ.

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ පළමු ගුවනින් බීජ ඉසීමේ ව්‍යාපෘතිය 2018 දෙසැම්බර් මස 12 වන දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන් ගතවූ එම්අයි 17 හෙලිකොප්ටර් යානාවක් මගින් නොච්චියාගම රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර පහක පමණ භූමි ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි ආසන්න වශයෙන් බීජ 5000 ක පමණ ප‍්‍රමාණයක් ඉසීම සිදුකරනු ලදි. මෙහිදී කරඳ, මී සහ කුඹුක් යන ශාක වර්ගයන්ට අයත් බිජ ගුවනින් ඉසීම සිදුකරන ලදී. මෙම ව්‍යාපෘතියේ දෙවන මෙහෙයුම 2019 ඔක්තෝම්බර් මස 29 සහ 30 දිනයන්හිදී අම්පාර ලාහුගල ජාතික වනෝද්‍යෘනය ආශ‍්‍රිතව අක්කර හැටක පමණ භූමිප‍්‍රමාණයක් ආවරණය වන පරිදි බීජ හැටහත්දහසක් පමණ ඉසීම සිදුකරන ලදී. මෙහිදී මයිල, කෝන්, ගල්සියඹලා, අරළු,ඇහැල සහ ගොඩකිරිල්ල යන වියළි කලාපයට ඔරොත්තු දෙන ශාක බීජ ඉසිඹ සිදුකරන ලදී.

මෙම බීජ ඉසීමේ ව්‍යාපෘතියේ නිරීක්‍ෂණ කටයුතු ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය මගින් නිරන්තරයෙන් සිදුකරන ලබයි. රනෝරාව ප‍්‍රදේශයේ ක්ෂේත‍්‍ර නිරීක්‍ෂණ චාරිකා හතක් පමණ මේ වන විට සිදු කර ඇති අතර එහි කරඳ ශාකය ඉතා  හොඳින් රෝපණය වී ඇති බව නිරීක්‍ෂණය වී තිබේ.එසේම එම ශෘක වියළි කාලගුණයට ඉතා හොඳින් ඔරොත්තු දෙමින් වෙනස්වන කාලගුණ තත්වයන්ට හොඳින් අනුවර්තනය වෙමින් පවතී. ලාහුගල ප‍්‍රදේශයේ ක්ෂේත‍්‍ර නිරීක්‍ෂණ චාරිකා දෙකක් සිදු කර ඇති අතර බොහෝ බීජ බෝම්බ තවමත් පවතින ස්වාභාවික තත්ත්වයන් සමඟ ප්‍රරෝහණය වෙමින් පවතින බව නිරීක්ෂණය වී තිබේ. නැගෙනහිර ප‍්‍රදේශයේ වනාන්තර ආශී‍්‍රතව ඊසානදිග මෝසම් වැසි සමය සක‍්‍රීය වීත් සමඟ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී තුන්වන බීජ ඉසීමේ මෙහෙයුමක් සිදු කිරීමට සැලසුම් කර ඇත. මෙම මහඟු කාර්යය අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීම උදෙසා ගුවන් හමුදා විධායක කෘෂී ඒකකය,  මහාචාර්ය ඩීකේඑන්පී පුෂ්පකුමාර, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ, මධ්‍යම පරිසර අධිකාරියේ සහ මාස් හෝල්ඩින් පුද්ගලික සමාගමේ නිළධාරීන් සමග සමීපව කටයුතු කරන ලබයි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි