විධායක ප්‍රතිසම්පාදන අංශය සිය අභිමානවත් දෙවන සංවත්සරය සමරයි
4:50pm on Monday 4th April 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක ප්‍රතිසම්පාදන අංශය සිය අභිමානවත් දෙවන සංවත්සරය අද දින එනම් අප්‍රේල් 01 දින උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.

මෙහිදී ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය කිරින්ද අස්සජි ස්වාමීන්ද්‍රයන්ගේ ප්‍රධානත්වයෙන් පිරිත් සජ්ඣායනාවක්ද පැවැත්විණි.

මෙම සංවත්සර සැමරුම සඳහා අධ්‍යක්ෂක සැපයුම් එයාර් කොමදෝරු එස්. රඹුක්වැල්ල, කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු එන්.එච්.වි. ගුණරත්න ඇතුළු සැපයුම් අංශයේ නිළධාරීන් හා සේවා පුද්ගලයින් රැසක් සහභාගී වූහ.

තවද මෙම උත්සවයට සමගාමීව මහරගම පිහිටි 'මවුපිය සෙවන' වැඩිහිටි නිවසේ වාසය කරන වැඩිහිටියන් හට දානයක් පිරි නමන ලදී. එසේම විධායක ප්‍රතිසම්පාදන අංශයේ කාර්ය මණ්ඩලයේ සමාජිකයින් එක්ව ඇඳුම් ප්‍රධානයක්ද මෙහිදී පිරි නමන ලදී.

මෙම අංශය 2009 වසරේදී ස්ථාපනය කරන ලද්දකි. මිලදී ගැනීමේ ඒකකයක් ලෙස පැවති මෙය පාලනයේ පහසුවත්, කාර්යක්ෂමතාවයත් වැඩි කර ගැනීම උදෙසා විධායක ප්‍රතිසම්පාදන අංශයක් ලෙස ප්‍රතිනිර්මාණය විය. මෙමගින් ක්‍රියාන්විත හා අනෙකුත් ප්‍රදේශයන්ට අවශ්‍ය දෑ ඉතාමත්ම කාර්යක්ෂම ආකාරයෙන් සැපයීම සිදු කරනු ලබයි.

මෙම විධායක අංශය විදේශීය ප්‍රතිසම්පාදන, දේශීය ප්‍රතිසම්පාදන, ටෙන්ඩර, අලුත්වැඩියා, එකතු කිරීමේ සහ නිෂ්කාශන (විදේශීය), එකතු කිරීමේ සහ නිෂ්කාශන (දේශීය), මිළ කැඳවුම් හා ටෙන්ඩර මාන්තු කිරීම යන අංශයන්ගේ එකතුවකි.

විධායක ප්‍රතිසම්පාදන අංශයේ ප්‍රථම අණදෙන නිළධාරිවරයා ලෙස එයාර් කොමදෝරු කේ.ඒ.පී.එස්. අනුගුලුගහ කටයුතු කළ අතර මෙතුමා මෙම නව අංශය ස්ථාපනය කිරීමේ පුරෝගාමියාද වේ. අදවන විට මෙම විධායක ප්‍රතිසම්පාදන අංශයේ අණදෙන නිළධාරිවරයා ලෙස ගෲප් කැප්ටන් ඩබ්ලිව්.එම්.කේ.එස්.පී. වීරසිංහ කටයුතු කරන අතර නිළධාරීන් 196ක් හා සේවා පුද්ගලයින් 139ක්ද සේවය කිරීම විශේෂත්වයකි. 

 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි