“මිහිඳු සෙත් මැඳුර” විවෘත වේ
11:50am on Tuesday 31st May 2011
ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුමේදි “රණක්ෂිතියට පත්” රණවිරුවන් ‍ෙවනුවෙන් ආබාධි තත්වය සහිතව පහසුවෙන් සිය කටයුතු කරගෙන යාමේ හැකියාව සහිත සියළු පහසුකම් වලින් සමන්විත “මිහිදු සෙත් මැඳුර” අද (මැයි 30) දින උදෑසන ජනපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් විවෘත විය.

රත්මලාන අත්තිඩිය කුරුළු පාරාදීසය මායිමට පිහිටි මෙම මිහිඳු සෙත් මැදුර පිහිටුවීමේ මූලික සංකල්පය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වන අතර එය වසර 30ක පැවති යුද්ධය නිමා කිරීමට සිය උපරිම දායකත්වය සපයා පූර්ණ ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ට‍ සිය ජීවිත කාලය පුරාවටම පහසුවෙන් ජීවත්වීමට හා ඔවුන් රැක බලාගැනීමටයි. ඒ වෙනුවෙන් මෙම භූමිය 2000 වසරේ දී තෝරා ගත් අතර පසුව ගරු රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමාගේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම මල්ඵල ගන්වමින්, දෙස් විදෙස් දානපතියන්ගෙන් ලත් පරිත්‍යාගයෙන් සහ යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවුණු මෙම නිවහන "මිහිඳු සෙත් මැඳුර" නමින් නම් කර පූර්ණ ආබාධිත රණවිරුවන්ගේ සියළු අවශ්‍යතාවයන් සහ සුවපහසුව ලබාදීමට හැකි වනසේ මෙම “නිවසින් එපිට නිවහන” (Home Away Home) සුවිසල් නිවහන මිලියන 135ට අධික මුදලක් වැයකොට නිර්මාණය කරන ලදී.

මෙහි පැමිණෙන සියලු රණවිරුවන්ට පූර්ණ කාලීන නේවාසික පහසුකම් සහිතව කායික මානසික හා අධ්‍යාත්මික සුවයෙන් යුක්තව සිය කටයුතු කරගෙන යාමේ හැකියාව ඇතිවාක් මෙන්ම තමන්ට අවශ්‍ය විටෙක පවුලේ සාමාජිකයන්, ඥාතීන්, හිතවතුන් මෙන්ම සහෝදර සෙබළුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරගෙනයාමේ හැකියාව සහිත පරිසරයකින් යුක්ත වේ. මෙම මිහිඳු සෙත් මැඳුරේ ‍ෛවද්‍ය පහසුකම්, ව්‍යායාම කිරීමේ පහසුකම්, ප්‍රතිකාර ලබාදීම් ආදී බොහෝ පහසුකම් රණක්ෂයට පත් රණවිරුවන් වෙනුවෙන් සපයා ඇත. එයට අමතරව මෙම රණවිරුවන් හට මනා පුහුණුවකින් හෙබි කාර්ය මණ්ඩලයක සේවයද නිරන්තරයෙන් සැපයෙනු ඇත.

මෙම උත්සව අවස්ථාව සඳහා ජනපති, මැති ඇමතිවරුන්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, රණක්ෂිතියට පත් වීරෝධාර රණවිරුවන් හා ඔවුනගේ ඥාතීන්, රජයේ නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගවී සිටියහ.

උපුටා ගැනිම  www.defence.lk




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි