එයාර් චීෆ් මාර්ෂල් ඩී.සී පෙරේරා
Air Chief Marshal D C Perera  VSV,ndc,psc

ගුවන් හමුදාවේ දේශීයව පුහුණුව ලැබූ ප්‍රථම නිලධාරී පාඨමාලවේ තවත් කීර්තිමත් පුද්ගලයෙකු වූ ඩික් කත්බර්ඩ් පෙරේරා මහතා එයාර් වයිස් මාර්ෂල් නිලය දරමින් 1981 මැයි මස 01 වන දින ගුවන් හමුදාවේ හය වැනි ගුවන් හමුදාපති ලෙස පත් විය.

කොළඹ ශාන්ත බනඩික් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මෙතුමා 1951 සැප්තැම්බර් 21 වන දින ගුවන් හමුදාවට එක් විය. චිප්මන්ක් හා බෙලියාල් ගුවන් යානාවල පුහුණූව ලැබීමෙන් අනතුරුව 1954 දී හවකට අග්‍රමාත්‍ය ශ්‍රීමත් කොතලාවල අතින් පියාසර ලාංඡන ලැබීය. අංක 02 බළඝණයේ නියෙමුවකු ලෙස කටයුතු කළ මෙතුමා 1964 සිට 1968 දක්වා එහි අණ දෙන නිලධාරී ලෙස කටයුතු කළේය. අනතුරුව කටුනායක කඳවුරේ නිලධාරී අණදෙන (පරිපාලන) හා පසුව කදවුරු අණ දෙන නිලධාරී තනතුරට පත්විය.
ගුවන් හමුදා මූලස්ථානයේ දැරූ තනතුර අතර පරිපාලන අධ්‍යක්ෂ ධූරය දැරූ පොදු රාජකාරී (නියමු) ශාබාවේ ප්‍රථම නිලධාරියාද මෙතුමාමය. පසුකාලීනව මෙහෙයුම් අධ්‍යක්ෂක හා මාණ්ඩලික ප්‍රධානී ධූරයන්ට මෙතුමා පත් විය.

ගුවන් හමුදා පති ලෙස අත් හැර දමා තිබූ ගුවන් පථ භාවිතයට ගැනීමේ කටුයුතු වලට මෙතුමාද දැඩි සැලකිල්ලක් දැක්විය. 1983න් පසු සංග්‍රාමික ගුවන් මෙහෙයුම් සඳහා තිබූ දැඩි අවශ්‍යතාවය මත ගුවන් හමුදාව ශක්තිමත් කිරීමට මෙතුමා පියවර ගත්තේය. ඒ යටතේ බෙල් 212, බෙල් 412, සියායිමාෂෙට්ටි SF 260TP, වැනි ගුවන් යානා ගුවන් හමුදාවට එක් විය.

එයාර් වයිස් මාර්ෂල් පෙරේරාගේ සේවා කාලය ඇමරිකාවේ ගුවන් විධායක හා මාන්ඩලික විද්‍යාලයෙන් ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යලයෙන් ලද පුහුණුවන්ගෙන් ශක්තිමත් විය.

මෙතුමාගේ දිරීඝ හා විශිෂ්ඨ සේවය අගයනු වස් 1982 දී විශිෂ්ඨ සේවා විභූෂණයෙන් පිදුම් ලැබූ අතර ගුවන් හමුදාපති වරයෙකු එම සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව එය විය.

1985 අප්‍රේල් මස 30 වන දින ගුවන් හමුදාපති ධූරයෙන් සමු ගත් මෙතුමා රටටත් ගුවන් හමුදාවටත් ඉටු කරන ලද මෙහෙය උදෙසා 2007 ඔක්තෝබර් 01 වන දින එයාර් චීෆ් මාර්ෂලි නිලයට උසස් කරන ලදී.



ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි