අන්තර් ඒකක සරඹ තරඟාවළියේ ජය රත්මලාන ගුවන් හමුදා කඳවුරට තූර්ය වාදක තරඟාවළියේ ජය චීන වරාය විද්‍යාපීඨයට
5:56pm on Friday 4th October 2013
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හය වෙනි වරට පවත්වනු ලැබූ අන්තර් ඒකක සරඹ හා තූර්ය වාදක තරඟාවළිය පසුගිය 2013 ඔක්තෝම්බර් මස 03 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු සරඹ පිටියේදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී කන්ඩායම් විසිතුනක් අතර පැවති සරඹ තරඟාවළියේ ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන සරඹ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. තූර්ය වාදන කණ්ඩායම් හතරක් අතරින් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරු තූර්ය වාදක කණ්ඩායම තරඟාවළියේ ශූරතාවය දිනා ගන්නා ලදී.

මෙහිදී තරඟාවළියේ අවසන් වටය සඳහා සරඹ කණ්ඩායම් විසිතුන අතරින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු සරඹ කණ්ඩායම, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම් සහභාගී විය. එහිදී ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඞී එම් ඞී සී ජයරත්න අණදුන් රත්මලාන ගුවන් හමුදා කඳවුරු සරඹ කණ්ඩායම ලකුණු 405.21 ක් ලබා ගනිමින් ශූරතා කුසලානය දිනා ගනු ලැබිණි.  ෆ්ලයින් ඔෆිසර් ඊ ඞී එම් එම් විජේවික‍්‍රම අණදුන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර, පළමු ස්ථානයට වඩා ලකුණු 3.14 ක් පසුපසින් සිටිමින් එහි අනුශූරතාවය දිනා ගනු ලැබූ අතර තුන්වන ස්ථානය ලකුණු 391.51 ක් ලබා ගත් පයිලට් ඔෆිසර් ජී ආර් ආර් ගංගොඩවිල අණදුන් ඉරණමඩු ගුවන් හමුදා කඳවුර දිනා ගනු ලැබීය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්ථාපිත වී ඇති තූර්ය වාදක කණ්ඩායම් හතර අතරින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ තූර්ය වාදක කණ්ඩායම් දෙක පරාජයට පත් කරමින් දියතලාව ගුවන් හමුදා කඳවුරේ සහ චීන වරාය විද්‍යාපීඨ ගුවන් හමුදා කඳවුරේ තූර්ය වාදක කණ්ඩායම් අවසන් තරඟයට සහභාගී විය. මෙහිදී බළලත් නිළධාරී ඩබ් එච් යූ එස් ප‍්‍රනාන්දු නායකත්වය ලබාදුන් චීන වරාය විද්‍යාපීඨ ගුවන් හමුදා කඳවුරු තූර්ය වාදක කණ්ඩායම් ශූරතාවය දිනා ගනු ලැබූ අතර සැරයන් දර්ශන පී. නායකත්වය ලබාදුන් දියතලාව ගුවන් හමුදා කඳවුරු තූර්ය වාදක කණ්ඩායම අනුශූරතාවය දිනා ගන්නා ලදී.

සරඹ තරඟාවළියේ සහ තූර්ය වාදක තරඟාවළියේ විනිශ්චය කටයුතු ගුවන් හමුදාවේ, යුධ හමුදාවේ, නාවික හමුදාවේ සහ පොලීසියේ නිළධාරීන් සහ සෙසු නිළයන්ගෙන් සැදුම් ලත් අපක්‍ෂපාතී විනිසුරු මඩුල්ලක් විසින් සිදු කරන ලදී. මෙහි ශූරතා ප‍්‍රදානය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මැතිතුමන් විසින් සිදු කරන ලදී.

උත්සවය වරණවත් කරමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ බලඝණයේ ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද සරඹ සංදර්ශනයක් සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසින් තූර්ය වාදන සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රධාන මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් කේ ඒ ගුණතිලක මහතා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර ගුවන් හමුදා නිළධාරීහු සහ සෙසු නිළයන් විශාල පිරිසක් මෙම අවස්ථාව නැරඹීමට පැමිණ සිටියහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි