වාර්ෂික ගුවන් සමුළුව - 2015
9:46am on Tuesday 1st December 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පළමු වරට සංවිධානය කරනු ලබන ගුවන් සමුළුව -2015(Air Symposium 2015) - අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඩ් සමුළු සහ උත්සව ශාලාවේදී අද දින පැවැත්විණ. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර උසස් හමුදා නිළධාරීන්, සිවිල් විද්වතුන්, රජයේ උසස් නිළධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී විය.

මෙම සමුළුවේ තේමාව , සමුද්‍රාශ්‍රිත ගුවන් ආරක්ෂාව තුළින් ජාතිය ගොඩනැගීම  (Nation Building through Maritime Air Security) යන්න විය. ආරම්භක දේශනය ඉදිරිපත් කරමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සමුද්‍රාසන්න කලාපවල සමුද්‍රාශ්‍රිත ගුවන් ගමන් වල ප්‍රවීණත්වය ලබාගැනීමේ  වැදගත්කම පිලිබදව අදහස් ප්‍රකාශ කරන ලදී.

ප්‍රධාන දේශනය ඉදිරිපත් කරමින් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉතිහාසයේ පවා ශ්‍රී ලංකාව සමුද්‍රීය කටයුතු වෙනුවෙන් සෑම විටම වැදගත් වූ බවත් ආරක්ෂක අංශ සේම අනෙකුත් රාජ්‍ය අංශයේ සංවිධාන සමග එක්වී නාවික සම්පත් උපරිම ප්‍රයෝජනයට ගැනීමේ අරමුණ කරා ළගාවිය යුතු බව සදහන් කළේය.

මෙහිදී ආරාධිත කථීකයා ලෙස හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඕ.එම් රණසිංහ මහතා අදහස් දක්වමින් ඔහුගේ හමුදාපති කාලයේ පවා සමුද්‍රීය කලාපවල ආරක්ෂාව සම්බන්ධව යෝජනා ඉදිරිපත් වූවත් අවාසනාවකට එවකට දේශපාලන නායකත්වය සාර්ථක නොවූ නිසා සමුද්‍රාශ්‍රිත ගුවන් ආරක්ෂාව පිලිබදව කටයුතු කිරීම අපහසු වූ බවත් සමුද්‍රාශ්‍රිත හමුදා කණ්ඩායම් යෙදවීමේ වැදගත්කම වත්මන් නායකත්වයේ අවධානයට යොමුවනු ඇතැයි තමා බලාපොරොත්තුවන බවද සදහන් කලේය.

සමුළුවෙහි අධ්‍යයන වටය  විවිධ ඉදිරිපත්කිරීම් මාතෘකා 08 ක් යටතේ ඉදිරිපත් විය. මෙහිදී පොදු තේමාව වූ , සමුද්‍රාශ්‍රිත ගුවන් ආරක්ෂාව තුළින් ජාතිය ගොඩනැගීම, ට අමතරව සමුද්‍රාශ්‍රිත සහයෝගීතාවය , සමුද්‍රාශ්‍රිත ආවේක්ෂණ , සමුද්‍රාශ්‍රිත සොදිසි සහ බේරාගැනීම් , සමුද්‍රාශ්‍රිත ගුවන් ගමන් පිලිබද දැනීම් යන උප තේමාවලින් සමන්විත විය.

දිනය පුරා පැවැති සමුළුව සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාධිපති, හිටපු ගුවන් හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෂ්ඨ නිළධාරීන්, අමාත්‍යංශවල ජ්‍යෂ්ඨ රාජ්‍ය නිළධාරීන්, අසල්වැසි හා මිත්‍ර පාක්ෂික නියෝජිතයින්, මාධ්‍ය සාමාජිකයන් මෙන්ම සම්භාවනීය ආරාධිත අමුත්තන් බොහෝ පිරිසක් ද සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි