'පැසිෆික් ඒන්ජල්' වැඩසටහන සර්ථකව නිමවෙයි
9:08am on Wednesday 24th August 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැසිපික් ගුවන් අණ භට පිරිස් හා ඒකාබද්ධව සිදුකරන පැසිෆික් ඒන්ජල්-2016 වැඩසටහන මෙවර ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 2016 අගෝස්තු මස 15 වන දින ආරම්භ වී 2016 අගෝස්තු මස 22 වන දින අවසන් විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් ලලිත් ජයවීර, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් රුචිර සමරසිංහ, ගුවන් හමුදා නිලධාරීන්, එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා නියෝජිතයින් හා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිතුමන්, අමාත්‍යවරුන්, සිවිල් සංවිධානවල නියෝජිතයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

කලාපයේ රටවල්වල ජනජීවිත ගොඩනැංවීමේ අරමුණින් ගොඩනැගිලි අලූත්වැඩියා කිරීම් හා වෛද්‍ය සායන ඇතුලු වැඩසටහන් මාලාවක් පැවැත්වුණු අතර මෙම වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ඉංජිනේරු සහ වෛද්‍ය කණ්ඩායම්, ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැසිෆික් ගුවන් අණ භට පිරිස් හා සිවිල් සංවිධාන ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරුණු අතර මෙම වැඩසටහනට සහභාගීවීමට සහ අධීක්ෂණය කිරීමට විවිධ රටවල් නියෝජනය කරමින් නිරීක‍ෂණ කණ්ඩායම් කිහිපයක් ද පැමිණ සිටියහ.

මෙම වැඩසටහන් මාලාව යටතේ යාපනය ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යය තත්වය නංවාලීමේ අරමුණින් ඔවුන්ගේ මුලික සෞඛ්‍ය ආරක‍ෂණය, රෝග තත්වයන් වෙනුවෙන් ජංගම ප්‍රථීකාර කිරීම් සහ දන්ත සෞඛ්‍ය වැඩසටහන් ද පාසල් ගොඩනැගිලි අලූත්වැඩියා කිරීම සහ යටිතල පහසුකම් නගා සිටුවීමේ අරමුණින් ගුවන් හමුදා ඉංජිනේරුවන් හා ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැසිෆික් ගුවන් අණ භට පිරිස් සමග ඒකාබද්ධව යාපනය ප්‍රදේශයේ පාසල් කිහිපයක අලූත්වැඩියා කිරීමේ කටයුතු ද සිදුකෙරිණ.

සෞඛ්‍ය වැඩසටහන් ඉඩයික්කාඩු මහා විද්‍යාලය සහ පුන්ගුඩුතිව් ශ්‍රී සුබ්‍රමනියම් බාලිකා විද්‍යාලයේදී සාර්ථකව පැවැත්වූ අතර 3000කට අධික රෝගීන් සංඛ්‍යාවකට එහීදී ප්‍රතිකාර ලබාදීම සිදු කෙරිණ. මෙම සෞඛ්‍ය වැඩසටහන ඊට දායකත්වය දැක්වූවන් අතර දැනුම හා අත්දැකීම් හුවමාරු කිරීමට උපකාර විය.

පාසල් ගොඩනැගිලි අලූත්වැඩියා කිරීම සහ යටිතල පහසුකම් නගා සිටුවීමේ අරමුණින් ගුවන් හමුදා ඉංජිනේරුවන් හා ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැසිෆික් ගුවන් අණ භට පිරිස් සමග ඒකාබද්ධව යාපනය ප්‍රදේශයේ පාසල් 06ක අලුත්වැඩියා කිරීම් කටයුතු සිදු කෙරිණ. මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන් ඊට දායකත්වය දැක්වූවන් අතර විශේෂඥ දැනුම වර්ධනය කිරීමට හා ඔවුන් අතර නවීන ඉංජිනේරු ක්‍රියාකාරකම් හුවමාරු කරගැනීමට ද ඉවහල් විය.

මෙම වැඩසටහන් මාලාවේ අවසන් අවස්ථාවට ගුවන් හමුදා සම්බන්ධීකරණ නිළධාරී එයාර් කොමඩෝර් රවී ලියනගමගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරු අණදන නිළධාරී ගෘෘප් කැප්ටන් එස් ඩී ජී එම් සිල්වා යන නිළධාරීන් සහභාගී වූ අතර විංග් කමාන්ඩර් එස් එස් දිසානායක, විංග් කමාන්ඩර් පී ඒ වී පද්මපෙරුම හා ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් බී පී වී රණප්‍රිය යන නිළධාරීන් විසින් මෙම වැඩසටහන් මාලාවේ සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරිණ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි