පූර්ණ වශයෙන් අළුත් වැඩියා කරන ලද එෆ් 7 (F-7) ගුවන් යානා දෙකක් ගුවන් හමුදාවට භාරදෙයි
8:53am on Tuesday 11th July 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා අළුත් වැඩියා කිරීමේ පහසුකම යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ පිහිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා අළුත් වැඩියා කිරීමේ පක්‍ෂාංගයේදී පළමු වරට පූර්ණ වශයෙන් අළුත් වැඩියා කරන ලද එෆ් 7 වර්ගයේ ගුවන් යානා දෙකක් භාරගැනීම 2017 ජුලි මස 10 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදීග ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා නිළධාරීන්, චීනයේ එම්/එස් කැතික් (M/S CATIC) ගුවන් සේවා ඉංජිනේරු අංශයේ නියෝජිතයින් සහ තාක්‍ෂණ හුවමාරු ව්‍යාපෘතිය සඳහා සහභාගී වූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

චීන එම්/එස් කැතික්(M/S CATIC) ආයතනයේ තාක්‍ෂණික සහයෝගීතාවයෙන් 2016 වසර ආරම්භයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා පූර්ණ වශයෙන් අළුත්වැඩියා කිරීමේ පක්‍ෂාංගය ආරම්භ කරන ලදී. මෙහිදී පළමු ගුවන් යානා පූර්ණ වශයෙන් අළුත් වැඩියා කිරීම් කිහිපය සඳහා චීන විශේෂඥ සහාය ලැබෙන අතරල අනතුරුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ස්වාධිනව ගුවන් යානා පූර්ණ වශයෙන් අළුත් වැඩියා කිරීමේ කටයුතු සිදු කිරීමේ හැකියාව ඇති කිරීමෙන් පසු ක‍්‍රමයෙන් ඉවත් වීමට නියමිතය. මූලිකව චීනයේ නිශ්පාදිත ගුවන් යානාවන්හි ගුවන් යානා සැකිල්ලෙහි පූර්ණ වශයෙන් අළුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කිරීමට අපේක්‍ෂා කරනු ලැබුවත් අනෙකුත් රටවල නිශ්පාදිත ගුවන් යානාවන්හි පූර්ණ වශයෙන් අළුත් වැඩියා කිරීම් සිදු කිරීමේ පහසුකමද පක්‍ෂාංගය සතුවෙයි.

වෙනත් රටවල නිශ්පාදිත ගුවන් යානාවන් කාලයක් මුළුල්ලේ භාවිතා කරනු ලබන බොහොමයක් රටවල් විසින් තාක්‍ෂණ හුවමාරු ව්‍යාපෘතීන් සිදුකිරීම සාමාන්‍යයෙන් සිදුකරනු ලබයි. මෙවැනි ක‍්‍රියාවළීන් මගින් විදේශ සහයෝගීතාවයකින් තොරව තම කාළය හා මුදල් යන දෙකම ඉතිරි කොට ගනිමින් ගුවන් යානාවන්හි පූර්ණ වශයෙන් අළුත්වැඩියා සිදු කිරීමේ හැකියාව ලැබෙයි. තාක්‍ෂණ හුවමාරු ක‍්‍රියාවළි සඳහා මූලිකව විශාල ප‍්‍රාග්ධනයක් වැයවුවත් එය අනාගත ආයෝජනයක් වෙයි. මන්දයත්, එම ව්‍යාපෘතීන් මගින් ලැබෙන දැනුම භාවිතා කොට පසු කාලීනව ගුවන් යානාවන්හි පූර්ණ වශයෙන් අළුත් වැඩියා සිදු කිරීම තුළින් විශාල පිරිවැයක් රටට ඉතිරි කර ගැනීමේ හැකියාවක් ලැබේ. එසේම මෙමගින් දේශයේ ගුවන් යානා කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති වන අතරම ගුවන් යානා තාක්‍ෂණික ඉංජිනේරුවන් හට තම හමුදා ජීවිතයෙන් විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව ක්‍ෂේත‍්‍රයේ ඵලදායී රැකියාවක් සඳහා යොමුවීමට අවස්ථාවක්ද හිමිකර දෙනු ලබයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි