බර ඉසිලීමේ ක‍්‍රීඩිකා නායක ගුවන් කාන්තා ගෝමස් බීඩීඑච් හට ගුවන් හමුදාවෙන් උසස්වීමක්
3:24pm on Saturday 30th June 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් බර ඉසිලීමේ ක‍්‍රීඩිකා නායක ගුවන් කාන්තා ගෝමස් බීඩීඑච් කෝප‍්‍රල් නිළයට උසස් කිරීම පසුගියදා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. ඇය විසින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රිඩා තරඟාවළියේදී කි ග‍්‍රෑ 48 බරපන්තිය යටතේ බරඉසිලීමේ තරඟයෙන් පදක්කමක් දිනා ගැනීමට සමත් වීම මෙලෙස උසස්වීමක් ප‍්‍රදානය කිරීමට හේතු විය.  ඇයට මෙම උසස්වීම සමග මුදල් ප‍්‍රදානය කිරීමක්ද සිදුකරන ලදී.

වාද්දූව බාලිකා විද්‍යාලය සහ වාද්දූව ශාන්තමරියා විද්‍යාලයන් මගින් ලක් මාතාවට දායද කල අති දක්ෂ ක‍්‍රීඩිකාවක් වන දිනූෂා හංසනී ගෝමස් 2012 වසරේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වුවාය. ඇය 2016 වසරේදී ඉන්දියාවේ පැවති 12වන දකුණු ආසියානු ක‍්‍රිඩා තරඟාවළියේදී රිදී පදක්කමක් දිනා ගනු ලබන අතර 2016 වසරේදී මැලේසියාවේ සහ 2017 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රිඩා තරඟාවළීන්හිදී ඇය විසින් ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබුවාය.

කැපවීමෙන් උත්සාහයෙන් ඇය විසින් ලබා ගත් මෙම ජයග‍්‍රහණයන් ඇගයීමද මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී. ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිත සභාපති එයාර් කොමඩෝර් ජානක අමරසිංහ, ගුවන් හමුදා ක‍්‍රීඩා අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් අයිකේ වීරරත්න,  ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සිල ලේකම් ගෲප් කැප්ටන් පද්මන් ඩි කොස්තා සහ ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිත සහ ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සිල නිළධාරීන්  පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි