ගුවන් හමුදා කාන්තාවන් ස්වාට් (SWAT) පුහුණුව ලබයි
8:35am on Thursday 18th April 2019
ශ‍්‍රී ලංකා හමුදා ඉතිහාසයේ පළමු වතාවට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ ගුවන් මෙහෙයුම් බලකායේ කාන්තා නිළධාරීනයක සමග ගුවන් කාන්තාවන් 5 දෙනෙකු 2019 පෙබරවාරි මස 23 වන දින ආරක්ෂක යුධ හා උසස් සටන් උපාය පුහුණුවක්  (SWAT)   සඳහා දිවයිනෙන් පිටත්ව ගියහ. මෙම පාඨමාලාව පාකිස්ථානයේ කල්ලාර් කහාර් හි, පාකිස්තාන ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේදී පැවැත්විණි. කාන්තා නිළධාරිනී ෆ්ලයින් ඔෆිසර් වින්මා රත්නසූරිය සහ ගුවන් කාන්තාවන් පස්දෙනා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් බලකායේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චමින්ද හේරත් ගේ ප‍්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමේ සාමාජිකාවන් වශයෙන් මෙම පාඨමාලාවට සහභාගී වූහ. මෙම කණ්ඩායමට නිළධාරීන් 4ක් සහ ගුවන් භටයින් 9 දෙනෙකුද ඇතුළත් විය.

කාන්තා නිළධාරිනිය ඇතුළු ගුවන් කාන්තාවන් ඔවුන්ගේ සහෝදර නිළධාරීන් සහ ගුවන් භටයින් සමග අවි හැසිරවීම, සජීවි වෙඩි තැබීම්, කුඩා අවි සහ සහාය අවි,  උපක‍්‍රම, ගොඩනගන ලද ප‍්‍රදේශ වල සටන් වැදීම  (FIBUA)  , නිලධාරීන් සහ කණිෂ්ඨ අධීකාරී නොලත් නිළධාරීන් සඳහා උපායශීලී මට්ටමේ ගුවන් කඳවුරු ආරක්‍ෂක ඉලක්ක සහ පසු ආරක්‍ෂාව පිළිබඳ පුහුණුව ලබන ලදී.

ෆ්ලයිං ඔෆිසර් රත්නසූරිය 2013 වසරේ අංක 8 කාන්තා කැඩෙට් නිළධාරී පාඨමාලාවේ සාමාජිකාවක වශයෙන් ගුවන් හමුදාව එක්වූ අතර ඇය 2017 වසරේදී පරිපාලන රෙජිමේන්තු ශාඛාවේ පයිලට් ඔෆිසර් නිළයේ අධිකාරියට පත්වූවාය. ඇය මේ වන විට ගුවන් හමුදා මූලස්ථානයේ අංක 45 විශේෂ ප‍්‍රභූ ආරක්‍ෂක පක්‍ෂාංගයේ සේවය කරනු ලබයි. ඇය ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකයේ නිළධාරිනියක සේම ගුවන් හමුදා පැරෂුට් පැනීමේ නිළධාරිණියකද වෙයි. කළුතර බාලිකා විද්‍යාලයෙන් ලක්මාතාවට ලැබදුන් දායාදයක් වන ඇය හේමචන්ද‍්‍ර රත්නසූරිය මහතාගේ සහ සෝමලතා රත්නසූරිය මහත්මියගේ දයාබර දියණිය වෙයි.

පුහුණුව ලැබූ ගුවන් කාන්තාවන් අංක 28 සහ අංක 34 ගුවන් කාන්තා පාඨමාලාවන් හැදෑරූ ගුවන් කාන්තාවන් වන අතර ඔවුහු 2014 වසරේදී සහ 2016 වසරේදී ගුවන් හමුදාවට එක්වූහ. ඔවුන් ගුවන් හමුදා මෙහෙයුම් භූමි වෘත්තියේ සේවය කරනු ලබන ගුවන් කාන්තාවන් වන අතර මේ වන විට අංක 45 විශේෂ ප‍්‍රභූ ආරක්‍ෂක පක්‍ෂාංගයේ සේවය කරනු ලබයි. මෙම ගුවන් කාන්තාවන්ද ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකය වෙත අනියුක්ත කරනු ලැබූ පළමු ගුවන් කාන්තාවන් වෙයි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි