සෝමාවතිය රජමහා විහාරයේ හෙලිකොප්ටර් ගොඩබෑමේ ස්ථානයක්
7:47pm on Monday 15th June 2020
ක්‍රි.පූ. දෙවන ශතවර්ෂයේ ඉදිකරන ලදැයි විශ්වාස කෙරෙන සෝමාවතිය රජමහා විහාරය මහවැලි ගඟේ වම් ඉවුරේ පිහිටි සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇත. සෑම වසරකම වැසි සමයේදී සෝමාවතී ප්‍රදේශයට අධික ගංවතුර තත්ත්වයක් ඇති වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ බැතිමතුන් පිරිසක් විවිධ අපහසුතාවයන්ට ලක්වෙයි.

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී  ජනරජයේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෝමවතී රජමහා විහාරයේ ගංවතුර මට්ටමට ඉහලින් හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ ස්ථානයක් ඉදිකිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන ලදී.  

මෙමගින් හදිසි ගංවතුර ආපදා තත්වයන් යටතේ අවශ්‍ය අවස්ථාවන්ට අනුව සිවිල් වැසියන් ඉවත් කිරීමට හෝ අවශ්‍ය සැපයුම් ගෙන ඒමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවන්ට අවස්ථාව සැලසේ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ මෙහෙයවීමෙන් කටුනායක සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගයේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඒජීඑන්බී නුවන් ගේ නායකත්වයෙන් යුතුව ගුවන් භටයින් 50 දෙනෙකු විසින් මෙම හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ ස්ථානයේ  ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා අවශ්‍ය සියලුම සැපයුම් හා පරිපාලනමය සහාය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ධම්මික ඩයස් ගේ අධීක්ෂණය යටතේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර මගින් ලබාදෙන ලදී.

අළුතින් ඉදිකරන ලද මෙම හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ ස්ථානය බිම් මට්ටමට වඩා අඩි 12 ක් ඉහළින් ඉදිකර ඇති අතර එයට අසල පිහිටි සීමාමාලකයට සම්බන්ධ කරන පිවිසුම් මාර්ග පාලමක් ඉදිකරතිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කරන ලද ශක්‍යතා අධ්‍යයනයකදී සාමාන්‍ය ජල මට්ටම අඩි 7 සිට 8 දක්වා වන බව සොයා ගන්නා ලදී. ඒ අනුව මෙම ස්ථානය ජලගැලීම් අවස්ථාවක ඉහලම ජල මට්ටමට අවම වශයෙන් අඩි 4 ක් ඉහළින් පිහිටා ඇති අතර එය හෙලිකොප්ටර් ගොඩබෑම සඳහා ආරක්ෂිත වේ.

සම්පුර්ණ කරන ලද හෙලිකොප්ටරය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් 2020 මැයි 30 වන දින විවෘත කරන ලද අතර සෝමාවතිය රාජමහා විහාරයේ ප්‍රධාන වත්මන් පූජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල හිමිපාණන් වෙත භාරදෙන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා,  හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ධම්මික ඩයස් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි