හිඟුරක්ගොඩ ගුවන්තොටුපළේ යටිතල පහසුකම් සිවිල් ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුව වැඩිදියුණු කිරීමට පියවර
9:27pm on Tuesday 7th May 2024
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සමඟ එක්ව හිඟුරක්ගොඩ ගුවන්තොටුපළේ යටිතල පහසුකම් සිවිල් ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූලව වැඩිදියුණු කිරීමට සැලසුම් ආරම්භ කර ඇත. නාවික හා ගුවන් සේවා කටයුතු අමාත්‍ය ගරු. නිමල් සිරිපාල ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ප්‍රධාන විධායක සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය (විශ්‍රාමික) ඇතුළු රජයේ සහ ගුවන් හමුදාවේ කීර්තිමත් පාර්ශවකරුවන් සමග එක්ව 2024 අප්‍රේල් 04 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේදී සම්මන්ත්‍රණයක් සහ ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකරන ලදී,

මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට නිම කිරීමට නියමිත සංවර්ධන කටයුතුවල මූලික අදියරේදී දැනට පවතින ධාවන පථය දීර්ඝ කිරීම කෙරෙහි මූලික අවධානය යොමු කෙරේ. දැනට ධාවන පථය දිගින් මීටර් 2300ක් සහ පළලින් මීටර් 46ක් වේ.  පුළුල් කිරීමේ අරමුණ වන්නේ ධාවන පථයේ යෝජිත සම්පූර්ණ දිග මීටර් 2500 දක්වා වැඩි කිරීමයි. මෙම වැඩිදියුණු කිරීම තුලින් Airbus A320 මාදිලිය ඇතුළුව විශාල ගුවන් යානා සඳහා පහසුකම් සැලසීමට අදහස් කෙරේ.

සංවර්ධන ව්‍යාපෘතිය අදියර තුනකින් නිමකිරීමට සැලසුම් කර ඇති අතර ධාවන පථයේ සැලසුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සකස් කිරීමට තීරණය කර ඇති අතර එය මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. වැදගත් කරුණක් නම්, මෙම ධාවන පථය පුළුල් කිරීම ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ පරිමිතිය තුළ අතිරේක ඉඩම් අත්පත් කර ගැනීමකින් තොරව සිදු කරනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රම බලකාය සපයනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් අංශයේ දක්ෂ ගුවන් භටයින් විසිනි. සම්පූර්ණ ව්‍යාපෘති සම්බන්ධීකාරක එයාර් වයිස් මාර්ෂල් සුමේධ සිල්වා විසින් සම්බන්ධීකරණය කරනු ලබන අතර ගුවන් හමුදාවේ ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් චන්දන ගීතප්‍රිය විසින් අධීක්ෂණය කරනු ලැබේ.

මෙම මුලපිරීම හිඟුරක්ගොඩ ගුවන්තොටුපළේ හැකියාවන් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි, එමගින් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා ප්‍රවර්ධනයට දායක වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි