එයාර් මාර්ෂල් සුමංගල ඩයස්
Commander of the Sri Lanka Air Forceඑයාර් මාර්ෂල් සුමංගල ඩයස්
RWP, RSP and three Bars, VSV, USP, MSc (Def & Strat Stu), ndc, psc

එයාර් මාර්ෂල් දඹුරේ ලියනගේ සුමංගල ඩයස් 1984 දෙසැම්බර් 13 වන දින 13 වන කැඩෙට් නිළධාරී පාඨමාලාවේ නියමු පොදු රාජකාරී ශාඛාවේ කැඩෙට් නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුනු අතර නියමු පුහුණු පාඨමාලවේ මූලික සහ උසස් අදියර සම්පුර්ණ කිරීමෙන් අනතුරුව 1986 අගෝස්තු 15 වන දින නියමු පොදු රාජකාරී ශාඛාවේ පයිලට් ඔෆිසර් නිළයෙහි අධිකාරිත්වයට පත්විය.

එයාර් මාර්ෂල් ඩයස් සිය මාණ්ඩලික පාඨමාලාව 2001 වසරේ ඉන්දියාවේ වෙලින්ටන් ආරක‍ෂක සේවා මාණ්ඩලික පාසලේදී නිමකරන ලද අතර බංගලාදේශයේ මීර්පූර් හිදී ජාතික ආරක‍ෂක පාඨමාලාව හදාරන ලදී. එසේම ඔහු ඉන්දියාවේදී කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවද, ඉන්දීය ගුවන් හමුදාවේදී ඒකාබද්ධ යුධ ගුවන් පාඨමාලාවද, පකිස්ථානයේදී ගුවන් යානා අනතුරු සමීක‍ෂණ පාඨමාලාවද හදාරා ඇත.

1996 ඔක්තෝම්බර් මස 21 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරු අංක 02 ප්‍රවාහන ගුවන් යානා බලඝණයේ අණදෙන නිළධාරී වශයෙන් පත් වූ අතර අනතුරුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 08 සැහැල්ලූ ප්‍රවාහන ගුවන් යානා බළඝණයේ අණදෙන නිලධාරී වශයෙන් පත්විය. මාණ්ඩලික පාසල් පාඨමාලාව අවසන් කිරීමෙන් අනතුරුව ඔහු නැවත පියාසර රාජකාරීන් අරඹන ලද අතර වව්නියාව ගුවන් හමුදා කඳවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරී වශයෙන් 2002 ජූනි මස 26 වන දින වැඩභාරගන්නා ලදී. 2005 ජූනි මස 01 වන දින හෙලිකොප්ටර් බලඝණ දෙකක් ඇතුළුව බලඝණ තුනකින් සමන්විත හිගුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිළධාරී තනතුරට පත්විය. එසේම ඔහු මානුෂීය මෙහෙයුමේ ජ්‍යේෂ්ඨ ගුවන් සම්බන්ධිකාරක නිළධාරීවරයා වශයෙන් පත් වූ අතර 2009 වසරේදී මානුෂීය මෙහෙයුම සම්පූර්ණ කරන තුරු උතුරු, නැගෙනහිර ගොඩබිම් අණදෙන නිළධාරීන් (57, 58 සහ 59 සේනාංක) සමග ක්‍රියාකාරීව කටයුතු කරන ලදී. 2009 වසරේ දෙසැම්බර් මස 05 වන දින පියාසර බලඝණ දෙකක් ඇතුළුව බලඝණ හයකින් සමන්විත රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිළධාරීවරයා වශයෙන් පත්වූ අතර අන්තර්ජාතික මට්ටමේ රගර් ක්‍රීඩාංගනය ඇතුළුව සංවර්ධන ව්‍යාපෘතීන් කිහිපයක්ම සම්පූර්ණ කරන ලදී. අනතුරුව ඔහු පියාසර බලඝණ තුනක් ඇතුළුව බලඝණ විසිපහකින් සමන්විත කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිළධාරීවරයා වශයෙන් පත්වුණු අතර 2012 අප්‍රේල් මස 30 වන දින සිට 2013 ජූනි මස 10 වන දින දක්වා එම ධුරයෙහි රාජකාරී කටයුතු සිදුකරන ලදී. ඔහු ප්‍රධාන ගුවන් ආරක‍ෂක නිළධාරීවරයා වශයෙන් පත්වූ අතර පසුව 2013 වසරේදී ගුවන් මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක‍ෂක ලෙස පත්විය. එසේම ඔහු 2014 පෙබරවාරි මස 28 වන දින නියෝජ්‍ය සැපයුම් අධ්‍යක‍ෂක ධූරයට පත්වූ අතර 2014 ජූලි මස 01 වන දින සැපයුම් අධ්‍යක‍ෂක ලෙස පත්විය. එසේම එයාර් මාර්ෂල් ඩයස් මහතා 2016 ජූනි මස 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වැඩබලන ගුවන් මෙහෙයුම් අධ්‍යක‍ෂකවරයා ලෙස පත්විය.

එයාර් මාර්ෂල් ඩයස් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වෙනි ගුවන් හමුදාධිපති ධුරයෙහි වැඩ භාරගන්නා තෙක් 2016 ඔක්තෝම්බර් මස 01 වන දින සිට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරෙහි රාජකාරී කටයුතු සිදුකරන ලදී.

එයාර් මාර්ෂල් ඩයස් මහතා හට වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි සේවා පදක්කම, දේශ පුත්‍ර සම්මානය, රණශූර පදක්කම (සිව් වරක්), උතුරු සහ නැගෙනහිර මෙහෙයුම් පදක්කම, රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම, 50 වෙනි නිදහස් දින සැමරුම් පදක්කම, ගුවන් හමුදා 50 වෙනි සංවත්සර සැමරුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උත්තම සේවා පදක්කම සහ විශිෂ්ඨ සේවා විභූෂණය යන පද්කකම් හිමිවී තිබේ.

එයාර් මාර්ෂල් ඩයස් මහතා දේශ පුත්‍ර සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර දෙවන ඊලාම් යුද්ධයේදී සිලාවතුර ප්‍රදේශයේ ගුවන් මෙහෙයුමකදී සතුරු ප්‍රහාරයකට ලක්ව ආබාධයකට ලක්වීම වෙනුවෙන් ඔහුට එම සම්මානය හිමිවිය. 2008 වර්ෂයෙහි හතරවන ඊලාම් යුද්ධයේ අවසන් අදියරෙහිදී ජ්‍යේෂ්ඨ ගුවන් සම්බන්ධීකාරක සහ ගුවන් ආඥාපති ලෙස උපායශීලීව යුධ හමුදාවේ 57, 58 සහ 59 සේනාංකයන්හි ගොඩබිම් මෙහෙයුම් සමග ගුවන් මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීමෙන්, වසර තිහක් මුළුල්ලේ ශ්‍රී ලංකාවට පීඩාකරන ලද ත්‍රස්තවාදී උවදුර අවසන්කොට මානුෂීය මෙහෙයුම සාර්ථකව අවසන් කිරිමට සිය දායකත්වය ලබාදෙන ලදී.

2011 වසරේදී ඔහු ගුවන් හමුදා කඹ ඇදීමේ සංචිතයේ ප්‍රථම සභාපති වශයෙන් පත්විය. එසේම 2012 වසරේදී ගුවන් හමුදා මළල ක්‍රිඩා සංචිතයේද, 2014 වසරේදී ගුවන් හමුදා පාපැදි සංචිතයේද සභාපතිධූරය හොබවන ලදී. එසේම ඔහු රග්බි උපදේශන කමිටුවේ සභාපති වශයෙන්ද කටයුතු කරන ලදී.

එයාර් මාර්ෂල් ඩයස් මහතා මයුරි ඩයස් මහත්මිය සමග විවාහ වී සිටන අතර ඔවුන් දෙදෙනාට එක් පුතෙක් සහ දියණියක සිටියි.




ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි