ගුවන් හමුදාධිපතිතුමන් විසින් 2023 නව වසර සදහා සුභාශිංසන පළකරන ලදී.
8:40am on Friday 13th January 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ විසින් 2023 ජනවාරි 02 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ, ගුවන් හමුදා කොළඹ කඳවුරේ සහ සියලුම ගුවන් හමුදා කඳවුරුවල සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙත සිය අලුත් අවුරුදු සුභාශිංසන පළකරන ලදී.

ගුවන් හමුදාවේ සියලුම කඳවුරු වෙත සජීවීව විකාශය කරන ලද මෙම කටයුතු ජාතික ධජය එසවීමෙන් සහ රාජ්‍ය සේවා ප්‍රතිඥාව ප්‍රකාශ කිරීමෙන් ආරම්භ විය.මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ කදවුරේ නිළධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ගුවන් හමුදා මුලස්ථාන පරිශ්‍රයට පැමිණ සිටියහ.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් දේශනය ආරම්භ කරන ලද්දේ ගුවන් හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය උණුසුම් සුභාශිංසන පළකරමිනි. පසුගිය වසරේ උද්ගත වූ අභියෝගාත්මක තත්වයන්  සඳහා ගුවන් හමුදාවේ දැවැන්ත කාර්යභාරය ඉටුකිරීම පිළිබද ගුවන් හමුදාධිපතිතුමන් විසින් අවධාරණය කරන ලදී.

තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකිමින් මේ රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීම වැදගත්ම යුතුකම බව සිහියේ තබාගෙන කාර්ය භාරය ඉටුකිරීමේදී හොඳම විනයක් සහ සූක්ෂ්ම භාවය භාවිත කරන ලෙස  සියලු සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය. මේ අතර ගුවන් හමුදා සේවයේ නියුතු පුද්ගලයින්ට මුල්‍ය සහන සැලසීම සඳහා පසුගිය වසරේ පැවැත්වූ සමාරම්භක "ඊගල්ස් මෙගා ඩ්‍රෝ" පිළිබඳවද ඔහු අවධාරණය කළේය. අනතුරුව ගුවන් හමුදාධිපතිතුමා විසින් පළමු ත්‍යාගය මිලියන 2.5 ක් නායක ගුවන් භටසේපාල එම්.වයි.එස්.කේ,දෙවන ත්‍යාගය රුපියල් මිලියනයක් සැරයන් කුමාර ඩී.ඒ.ඩබ් සහ තෙවැනි ත්‍යාගය රුපියල් මිලියන භාගයක් බළපංති සැරයන් පුෂ්පකුමාර එච්.එම්.එන්.යන අයට පිරිනමන ලදී

නව වසර ආරම්භයේ දී නව අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගුවන් හමුදාව සිය වගකීම් ඉටු කරන බව හමුදාධිපතිතුමන් විසින් අවධාරණය කළේය. ගුවන් හමුදාවට සහ එහි කාර්ය මණ්ඩලයට ආශිර්වාද පතා සර්ව ආගමික උත්සවයක් ද ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි