අංක 3 සමුද්‍රීය බලඝණය 4 වැනි සංවත්සරය සමරයි
9:13am on Thursday 19th January 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ ප්‍රතිස්ථාපනය කර ඇති අංක 3 සමුද්‍රීය බලඝණය සිය 4 වන සංවත්සරය 2023 ජනවාරි 11 වන දින සමරනු ලැබූ අතර සිය මෙහෙයුම් සේවාවේ 26 වැනි වසර සම්පූර්ණ කරන ලදී.

අංක 03 සමුද්‍රීය බලඝණය Beech King Air B-200 ගුවන් යානා සහ ඩෝනියර් 228 ගුවන් යානා වලින් සමන්විත වේ. අංක 3 සමුද්‍රීය බලඝණය සමුද්‍රීය සහ ගොඩබිම් නිරීක්ෂණ, ඔත්තු බැලීමේ මෙහෙයුම්, සෙවීම් සහ මුදවාගැනීම් (SAR‍), මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR‍), වෛද්‍ය සහන  (MEDEVAC), සමුද්‍ර දූෂණ අධීක්ෂණ සහ පාලනය කිරීම් සිදු කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැක්මට අනුව අපගේ මාතෘ භූමියේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ගුවන් හමුදා මූලස්ථානය විසින් පනවන ලද නියෝගයක් ලෙස "ඵලදායී ලෙස ගුවන් බලය යෙදවීම තුළින් ජාතික ආරක්ෂාව සහතික කිරීම." මෙහි මූලික අරමුණ වේ.

4 වන සංවත්සරයට සමගාමීව බලඝණයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් අනතුරුව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්.එම්.සී.ජේ.කේ රත්නායක නිළධාරීතුමන්ගේ මගපෙන්වීමකට අනුව පැළ බෙදා දීම සහ විද්‍යාපීඨ භූමියේ රුක් රෝපණ වැඩසටහනක් ද පවත්වන ලදී. එපමණක් නොව වසර අටක් තිස්සේ භාවිතයට ගැනීමට නොහැකිව තිබූ ත්‍රිකුණාමලය අභයපුර ප්‍රාථමික විද්‍යාලයේ  ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ද සංවිධානය කරන ලදී.අනතුරුව බලඝණයට සහ සාමාජිකයින් ඇතුළුව පවුල්වල පුද්ගලයින්ට සෙත් පතා චීන වරාය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පිරිත් සජ්ඣායනා වැඩසටහනක් බලඝණ පරිශ්‍රයේ දී පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි