එයාර් වයිස් මාර්ෂල් ජූඩ් පෙරේරා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දී විශ්‍රාම යයි
9:29am on Thursday 27th April 2023
එයාර් වයිස් මාර්ෂල් ජූඩ් පෙරේරා නිළධාරීතුමන් වසර 33කට වැඩි කාලයක් ජාතිය වෙනුවෙන් කැප වූ සේවයෙන් පසු 2023 අප්‍රේල් 04 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙන ලදී. විශ්‍රාම යන විට ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් තනතුර දැරීය.

එයාර් වයිස් මාර්ෂල් පෙරේරා මහතා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ කාර්යාලයේදී නිල වශයෙන් සමුගන්නා ලදී. වසර ගණනාවක් ජාතිය වෙනුවෙන් සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් කැපවීමෙන් කළ සේවය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමා විසින් ඔහුව ඇගයීමට ලක් කළේය. අපගේ මාතෘභූමිය සඳහා අවශ්‍ය වූ කාලය තුළ ඔහු ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ බවත් ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය ගුවන් හමුදා වංශ කතාවේ සටහන් වන බවත් ගුවන් හමුදාධිපතිතුමන් විසින් අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ එයාර් වයිස් මාර්ෂල් පෙරේරා මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී. ඉන් අනතුරුව, ඔහු අවසන් වරට ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර 2023 අප්‍රේල් 04 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් උත්සවාකාර ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

එයාර් වයිස් මාර්ෂල් ජූඩ් පෙරේරා 1989 නොවැම්බර් 14 වැනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු අතර, කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ 07 වැනි නිලධාරී ශිෂ්‍යභට නිලධාරියකු පාඨමාලාව හදාරා 1991 වසරේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ නියමු නිලධාරියකු ලෙස පත් විය. රත්මලාන ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ මූලික සටන් පාඨමාලාව සහ උපාධි පාඨමාලාව, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ මූලික පරිපාලන පාඨමාලාව සාර්ථකව නිම කර ඇත. ඔහු චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව හදාරා ඇත.

එයාර් වයිස් මාර්ෂල් පෙරේරා මහතා විසින් අංක 04 ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන හෙලිකොප්ටර් බලඝණයේ බලඝණ භාර නිලධාරියා, ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් කණ්ඩායමේ පුලියන්කුලම් හි සංඥා නිලධාරියා, ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ මූලික සංඥා නිලධාරී, ගුවන් ආරක්ෂක රාජකාරි ඇතුළු තනතුරු රැසක් දරන ලදී. කටුනායක ගුවන් හමුදා අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ අණදෙන නිලධාරී, ඉලෙක්ට්‍රොනික හා ගුවන් හමුදා මූලස්ථානයේ විදුලි සංදේශ ඉංජිනේරු මාණ්ඩලික නිලධාරී පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂක, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී, රත්මලාන කඳවුරු සුභසාධන ව්‍යාපෘති අණදෙන නිළධාරී වැනි තනතුරු රාශියක් දරා ඇත.

ඔහුගේ විශිෂ්ඨ සහ ආදර්ශමත් සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිගු සේවා පදක්කම සහ "උත්තම සේවා පදක්කම" යන සම්මානයෙන් පිදුම් ලබා ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි