ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක සරඹ, තූර්ය වාදක සහ පාසල් ශිෂ්‍යභට බටහිර තූර්ය වාදක තරඟ ඉතා උත්කර්ෂවත් ලෙස අවසන් වේ.
12:10pm on Tuesday 27th June 2023
'අන්තර් ඒකක සරඹ, තූර්ය වාදක හා අන්තර් පාසල් ශිෂ්‍යභටයින්ගේ බටහිර තූර්ය වාදක තරඟය 2023 ජුනි 21 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු පෙළපාලි චතුරශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය. වසර හතරක නිහැඬියාවකින් පසුව සිදු වූ මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහභාගී විය.

සරඹ තරගය සඳහා සියලුම ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් කණ්ඩායම් 23ක් සහභාගී විය. මෙයින් ගුවන් හමුදා රත්මලාන කඳවුර, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල සහ ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යන කණ්ඩායම් තුනක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.

ස්කොඩ්‍රන් ලීඩර් මයුරංගගේ නායකත්වයෙන් යුත් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ කණ්ඩායම සුවිශේෂී දස්කම් දක්වමින් ශූරතාවය ලබාගනිමින් ගුවන් හමුදාධිපතිතුමන් අතින් ශූරතා කුසලානය ලබා ගන්නා ලදී. ස්කොඩ්‍රන් ලීඩර් නිරෝෂන් ගංගොඩවිලගේ නායකත්වයෙන් යුත් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ කණ්ඩායම දෙවන ස්ථානයට පත් වූ අතර,  ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ප්‍රසාද් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කණ්ඩායම තෙවන ස්ථානය ලබාගන්නා ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සංකල්පයක් මත අන්තර් පාසල් ශිෂ්‍යභට බටහිර තූර්ය වාදක කණ්ඩායම් අතර තරඟයක් ලෙස මෙවර තරඟාවලිය නව අංශයක් හඳුන්වා දෙන ලදී. උද්යෝගිමත් තරගයකින් අනතුරුව කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සහ හොරණ විද්‍යාරතන විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ. අවසානයේ තරගයේ දක්ෂතම පාසල් ශිෂ්‍යභට බටහිර තූර්ය වාදක කණ්ඩායම ලෙස කුසලානය හිමිකර ගැනීමට කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සමත් විය.

මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, සංවිධායක කමිටුවේ සභාපති සහ ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්, එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිළයන්, පාසල් ශිෂ්‍යභටයින්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මෙම උත්කර්ෂවත් අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි