ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ ගුවන් හමුදාව විසින් නවීන තාක්ෂණය ප්‍රදර්ශනය කරයි
12:29pm on Tuesday 27th June 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ 2023 ජුනි 22 වන දින සිට 25 වන දින දක්වා BMICH පරිශ්‍රයේ පැවති  ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනය හා සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය - 2023" සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ක්‍රියාකාරීව සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කාර්මික නිෂ්පාදන කිහිපයක් මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුරේ ගගන පර්යේෂණ සහ සංවර්ධන පක්ෂාංගය විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට ගුවන් සේවා ආශ්‍රිත නිෂ්පාදනයක් වන Lihiniya Mk IE මිනිසුන් රහිත ගුවන් යානය මෙම ප්‍රදර්ශනයේදී කැපී පෙනිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රදර්ශන කුටිය, සුළං බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප කිරීමේ ඒකකය, කඩදාසි ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියේ නවතම නිමාව, කොහු මෙට්ට ව්‍යාපෘතියේ නිෂ්පාදන සහ දේශීයව නිපදවන ලද අඟුරු උදුන් ඇතුළු අනෙකුත් නව්‍ය නිෂ්පාදන මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී. අංක 28 රෙජිමේන්තු පක්ෂාංගය සහ පර්යේෂණ සහ සංවර්ධන පක්ෂාංගය එක්ව විද්‍යුත් මෝටර් බයිසිකලයක් නිෂ්පාදනය කරන ලද අතර එයද මෙම ප්‍රදර්ශනය සඳහා අභිමානවත් ලෙස ඉදිරිපත් කරන ලදී. මෙම කාර්මික ප්‍රදර්ශනවලට අමතරව, ගුවන් හමුදා කෞතුකාගාරය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසය සහ උරුමය පිළිබඳව නරඹන්නන් හට අවබෝධයක් ලබා දෙමින් විවිධ වර්ගයේ ගුවන් යානා ආකෘති ප්‍රදර්ශනය කරන ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී, පර්යේෂණ හා සංවර්ධන පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චන්දිමාල් හෙට්ටිආරච්චි,ගුවන් හමුදා කටුකුරුන්ද කදවුරේ වැඩබලන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජයනෙත් ද සිල්වා ප්‍රදර්ශණ කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.   

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි