එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් එයාර් මාර්ෂල් යන තරු තුනේ නිලය දක්වා උසස් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

19 වන ගුවන් හමුදාධිපතිතුමන් වෙත ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලද අතර, අනතුරුව සිය මංගල දේශනය සමස්ත ගුවන් හමුදාවම අමතා සිදු කරන ලදී. මෙම දේශනය මුළු ගුවන් හමුදාවටම සජීවීව විකාශය කරන ලද අතර, සියලුම නිලධාරීන්ට, සෙසු නිලයන්ට සහ සිවිල් වැසියන්ට සමාරම්භක දේශනය දැක බලා ගැනීමට හැකි විය.

තමා කෙරෙහි විශ්වාසය තබා 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස තමා පත් කිරීම පිළිබඳව එයාර් මාර්ෂල් රාජපක්ෂ මහතා ගුවන් හමුදාව අමතමින් සිය මංගල කතාවේදී ජනාධිපතිතුමාට ස්තුතිය පුද කළේය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත තමන් කෙරෙහි තැබූ විශ්වාසය සම්බන්ධයෙන් ඔහු සිය කෘතඥතාව ද පළ කළේය. වසර 30ක මානුෂීය මෙහෙයුම්වලදී ගුවන් මෙහෙයුම්වල ක්‍රියාකාරී සහභාගිවන්නෙකු ලෙස තම වසර 35ක සේවා කාලය තුළින් ලද අත්දැකීම් සහ දේශීය හා විදේශීය පුහුණුව තුළින් ගොඩනැගුණු කළමනාකරණ කුසලතා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉහළ නැංවීම සඳහා යොදා ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

චාරිත්‍රානුකූල කටයුතුවලින් අනතුරුව එයාර් මාර්ෂල් රාජපක්ෂ මහතා මූලික මාධ්‍ය හමුවට සහභාගී වූ අතර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හවුල්කරුවන් අමතා අදහස් දැක්වීය. ආරම්භයේ දී, මාධ්‍ය හවුල්කරුවන්ගේ වෘත්තීයභාවය, අවංකභාවය සහ අපක්ෂපාතී වාර්තාකරණය සඳහා වූ කැපවීම පිළිබඳව ගුවන් හමුදාපතිතුමන් විසින් ඇගයීමට ලක් කරන ලද අතර, එමඟින් මහජනතාව වෙත ළඟා වීමට සහ ගුවන් හමුදාව පිළිබඳ මහජන විශ්වාසය ඇති කිරීමට මග පෑදීය. අනතුරුව, ගුවන් හමුදාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉදිරි ගමන සඳහා අවධානය යොමු කරන ලද ප්‍රධාන අරමුණු පිළිබඳව විස්තර කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි