රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 76ක් සපිරීම නිමිත්තෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා හමුදාවට උපකරණ පරිත්‍යාග කරයි
9:59pm on Sunday 16th June 2024
එක්සත් ජනපද ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ 76 වැනි සංවත්සරය සනිටුහන් කරමින් 2024 ජුනි 12 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී එක්සත් ජනපදය තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා හමුදාව වෙත උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයකදී සිදු කරන ලදී.

මෙම උපකරණ පරිත්‍යාගය අන්‍යෝන්‍ය අභියෝග හමුවේ ත්‍රිවිධ හමුදාවන්ට සහාය වීමට එක්සත් ජනපදයේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි. ඇ.ඩො. මිලියන 3ක් වටිනා උපකරණ පරිත්‍යාග කිරීම මගින් බිම්බෝම්බ ඉවත් කිරීමේ සහ ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම් සදහා දායකත්වය සපයමින් ශ්‍රී ලංකාවේ දේශසීමාවෙන් ඔබ්බට ආරක්ෂාවට දායක වීම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ. නාවික හමුදාවට මුහුදේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට නාවික හමුදාවට ඇති හැකියාව ශක්තිමත් කිරීම සඳහා නාවික යාත්‍රා ගොඩබෑමේ උපකරණ ද මෙම උපකරණවලට ඇතුළත් වේ. මෙම උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා නිළධාරීතුමන් විසින් අංක 02 බලඝණය වෙත පැමිණීමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය.

ඩොලර් මිලියන 3ක් වටිනා උපකරණ පරිත්‍යාගය ශ්‍රී ලංකාව සමඟ අපගේ දිගුකාලීන හවුල්කාරිත්වයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ඉහළ නැංවීම, කලාපීය ස්ථාවරත්වයට සහ සාමයට දායක වීම, ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ජලය ආරක්ෂා කිරීමට, කලාපීය ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට සහ ශ්‍රී ලාංකික ජනතාවගේ සමෘද්ධිය සහ ආරක්ෂාව සහතික කිරීමට උපකාර වන ආකාරයෙන් අපගේ සබඳතා ශක්තිමත් කරන මුලපිරීම්වලට සහාය වීමට ලැබීම ගැන එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරි ලුතිනන් කර්නල් නෙල්සන් මහතා ආඩම්බර වෙමින් මෙහිදී අදහස් දැක්වීය. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට එක්සත් ජනපද රජය විසින් ලබා දී ඇති උපකරණ ලබාගැනීම සම්බන්ධ නිල ලේඛන අත්සන් තැබීම සදහා එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

ගුවන් හමුදාව සඳහා වූ උපකරණ තොගයට ගුවන් සංචලතා උපකරණ සහ අංක 02 සහ අංක 03 බලඝණ සඳහා ගුවන් යානා අමතර කොටස් ඇතුළත් වූ අතර C-130 සහ Beech King Air 360 ER ගුවන් යානා සඳහා භාවිතා කිරීමට හැකි වන උපකරණ ඉක්මනින් පරිත්‍යාග කිරීමට නියමිතය. එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දුන් උපකරණ තොගයේ මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ඉක්මවයි.

ශ්‍රී ලංකාව සහ ත්‍රිවිධ හමුදාව එක්සත් ජනපද රජයට සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට දක්වන සහයෝගය සංකේතවත් කරමින් කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරිතුමන් විසින් ලුතිනන් කර්නල් නෙල්සන් මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සහයෝගිතා ප්‍රධාන කාර්යාලයේ කමාන්ඩර් ෂේන් ජින්, ආරක්‍ෂක සහයෝගිතා නියෝජ්‍ය ප්‍රධාන නිළධාරී මේජර් එලිසබෙත් හෙවෙට් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. තවද, මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා අංක 02 සහ අංක 03 බලඝණවල අණදෙන නිලධාරීන්, අනෙකුත් අණදෙන නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි