එයාර් වයිස් මාර්ෂල් පාලින්ද කොස්වත්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි
12:12pm on Wednesday 19th June 2024
එයාර් වයිස් මාර්ෂල් පාලින්ද කොස්වත්ත වසර 34කට අධික කාලයක් ජාතිය වෙනුවෙන් කැපවූ සේවය නිම කිරීමෙන් පසු 2024 ජූනි 18 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගනී. ඔහු විශ්‍රාම යන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරීය.

එයාර් වයිස් මාර්ෂල් කොස්වත්ත නිළධාරීතුමන් 2024 ජුනි 11 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමාගේ කාර්යාලයේදී නිල සමුගැනීමේ චාරිත්‍රය සිදු කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ජාතියට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කරන ලද කැපවූ සේවය අගය කරන ලද අතර විශේෂයෙන් අප මාතෘභූමියට අවශ්‍ය වූ කාලවලදී ඔහු ප්‍රධාන කොටස්කරුවන්ගෙන් කෙනෙකු වූ බවත්, ඔහුගේ වීරෝදාර ඉතිහාසය ගුවන් හමුදා වංශ කතාවේ සටහන් වන බවත් ගුවන් හමුදාධිපතිතුමන් විසින් අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ එයාර් වයිස් මාර්ෂල් කොස්වත්ත මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී. අනතුරුව, ඔහු අවසන් වරට ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර, 2024 ජුනි 14 වන දින ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ඔහුට චාරිත්‍රානුකූල ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී. ජාතිය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට සේවාව අගයමින් එයාර් වයිස් මාර්ෂල් කොස්වත්ත මහතා වෙත සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එයාර් වයිස් මාර්ෂල් කොස්වත්ත 1989 දී කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ 7 වැනි බඳවා ගැනීමේ කැඩෙට් නිලධාරියෙකු ලෙස බඳවාගෙන ශාස්ත්‍රවේදී උපාධිය සාර්ථකව නිම කරමින් හමුදා දිවි ගමන ආරම්භ කළේය. අනතුරුව, ඔහු දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ නිලධාරි ශිෂ්‍යභට මූලික සටන් පාඨමාලාව, ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ මූලික සැපයුම් සහ ශාඛා පාඨමාලාව සාර්ථකව නිම කරන ලදී. 1991 දී සැපයුම් ශාඛාවේ නියමු නිලධාරියෙකු ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීම සනිටුහන් කළේය.

එයාර් වයිස් මාර්ෂල් පාලින්ද කොස්වත්ත සිය කීර්තිමත් වෘත්තීය ජීවිතය පුරාවටම විවිධ වූ සහ වැදගත් තනතුරු රාශියක සේවය කර ඇත. ගුවන් හමුදා  චීන වරාය විද්‍යාපීඨයේ අදිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසලේ ජ්‍යෙෂ්ඨ උපදේශක, කටුනායක ගුවන් හමුදා කඳවුරේ උපකරණ ප්‍රතිපාදන සහ ගිණුම් ඒකකයේ අණදෙන නිලධාරී, සහකාර ප්‍රසම්පාදන නිලධාරී - දේශීය, විදේශ ප්‍රසම්පාදන නිලධාරි, සහකාර ප්‍රසම්පාදන, කොළඹ ප්‍රසම්පාදන අංශයේ ටෙන්ඩර් සහ ප්‍රධාන ප්‍රසම්පාදන නිලධාරි, මාණ්ඩලික නිලධාරී සැලසුම් ඓ, අයවැය පාලන නිලධාරී, අධ්‍යක්ෂ අයවැය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රවාහන අධ්‍යක්ෂ සහ ගුවන් හමුදා මූලස්ථානයේ ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලයේ පුද්ගලික හා සැලසුම් අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ ජනරාල් ලොජිස්ටික්ස් සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ඔහුගේ සේවය මෙම කැපී පෙනෙන තනතුරු අතර වේ.

උත්තම සේවා පද්දක්කම, දිගු සේවා පදක්කම, රිවිරේස පදක්කම, උතුරු නැගෙනහිර මානුෂිය මෙහෙයුම් පදක්කම අතුළු පදක්කම් රාශියක් ඔහුගේ සේවය පිරිනමා ඇත.

ඔහුගේ දේශීය හමුදා අත්දැකීම් වලට අමතරව, එයාර් වයිස් මාර්ෂල් කොස්වත්ත මහතා විවිධ විදේශීය පුහුණු පාඨමාලා හැදෑරූ අතර, එමගින් ඔහුගේ අධ්‍යයන දිවියේ සන්ධිස්ථාන රැසක් අත්කර ගත්තේය. ඉන්දියාවේ කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාව, එක්සත් රාජධානියේ සැපයුම් පුපුරණ ද්‍රව්‍ය කළමනාකරුවන් පාඨමාලාව, ඉන්දියාවේ ඉන්ධන සහ ලිහිසි තෙල් කළමනාකරණ පාඨමාලාව සහ පකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාව. මීට අමතරව, ඔහු ඉන්දුනීසියාවේ පැසිෆික් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි සැපයුම් සම්මන්ත්‍රණයට (PASOL) සහභාගී වී ඇති අතර 2023 හවායි හි පැසිෆික් ගුවන් හමුදාව සමඟ පැවති ජාත්‍යන්තර මිලිටරි සංවාදවලට ක්‍රියාකාරීව සහභාගී වී ඇත, ඔහුගේ වෘත්තීය ජීවිතයෙන් බැහැරව, ඔහු ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ගුවන් හමුදා ඔරු පැදීමේ සම්මේලනයේ සභාපතිවරයා ලෙසද සේවය කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි