රජයේ රෝහල් වෙතින් සෞඛ්‍ය සේවා ලබාගැනීමේ දී විරුසර වරප්‍රසාද කාඩ්පතට ප්‍රමුඛත්වය
8:32am on Friday 12th July 2024
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සහ සෞඛ්‍ය අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගේ සෘජු මැදිහත් වීමෙන් රට වෙනුවෙන් ජීවිතය පුදකරන ලද සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදී ප්‍රමුඛතාවය මත එම සේවාවන් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී ඇත.

සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේදී ඇතැම් අවස්ථාවන්හි රණවිරුවන් හට ඇති වූ අපහසුතා පිළිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුවීමෙන් පසු ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලදි. එම සාකච්ඡාවේ දී කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් සෞඛ්‍ය සේවා ලබාදීමේදී විරුසර වරප්‍රසාද කාඩ්පත හිමි රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන් හට ප්‍රමුඛත්වය මත එම සේවාවන් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මින් ඉදිරියට කටයුතු කරනු ඇත.

ඒ අනුව, රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබාගැනීමේදී මෙන්ම වෛද්‍ය, දන්ත, අක්‍ෂි, ළමා හා පූර්ව ප්‍රසව සහ අනිකුත් සායනවලදී ද, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් පවත්වනු ලබන සායනවලදී ද, රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට ප්‍රමුඛත්වය ලබාදී ප්‍රතිකාර කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලුම පළාත් සෞඛ්‍ය සේවා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරුන් මාර්ගයෙන් අදාල රෝහල්වල අධ්‍යක්‍ෂකවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරින් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

රට වෙනුවෙන් ජීවිතය පුදකල හා රණක්‍ෂිතයට පත් වූ රණවිරුවන් වෙත කෘතගුණ දැක්වීමටත්, ඔවුන් විසින් සිදුකල මහත් කැපකිරිම් වලට ජාතියේ ප්‍රණාමය පුදකිරීම සඳහා මෙම සුභසාධන කටයුතු සිදුකරනු ලබයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි