ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව අධ්‍යක්ෂ ජනරාල් සාමාන්‍ය ඉංජිනේරුවරයා පත් කෙරේ
7:26pm on Saturday 24th August 2024
එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ නිළධාරීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් සාමාන්‍ය ඉංජිනේරුවරයා ලෙස 2024 ජූලි 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කරන ලදී.  2024 ජුලි 30 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ දී ගුවන් හමුදාධිපතිතුමන් විසින්  අභිනවයෙන් පත් වූ අධ්‍යක්ෂ ජනරාල් සාමාන්‍ය ඉංජිනේරුවරයා වෙත සිය සුබ පැතුම් පිරිනැමීය.

එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා 1993 දී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ 11 වන බඳවා ගැනීමේ නිලධාරි කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු අතර 1996 ඔක්තෝබර් 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ඉන්ඡිනේරු සහ සාමාන්‍ය ඉංජිනේරු ශාඛාවේ නියමු නිලධාරියෙකු ලෙස පත්කරන ලදී.

ඔහුගේ සේවා කාලය තුළ, අංක 08 සහ අංක 02 ප්‍රවාහන බලඝණවල අණදෙන නිලධාරී, ගුවන් හමුදා මූලස්ථානයේ ගගන ඉංජිනේරු අධ්‍යක්ෂක කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී , හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු පක්ෂාංගයේ විභාග කළමණාකරු, සාමාන්‍ය ඉංජිනේරු අංශය, ගුවන් යානා අලුත්වැඩියා පක්ෂාංගය සහ ගුවන් ඉංජිනේරු සහයක පක්ෂාංගයේ අණදෙන නිලධාරී වැනි ගුවන් හමුදාවේ ප්‍රධාන තනතුරු රාශියක් ඔහුට භාර විය. අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරුවරයා ලෙස පත්වීමට පෙර අංක 01 මෝටර් රථ ප්‍රවාහන අළුත්වැඩියා පස්ෂාංගයේ අණදෙන නිළදාරී ලෙස සේවය කරන ලදී.

කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ ගඟන ඉන්ඡිනේරු උපාධියක් ලබා ගැනීමෙන් ඔහුගේ අධ්‍යයන ගමන ආරම්භ වූ අතර 2002 දී ඉන්දියාවේ ගුවන් හමුදා කාර්මික විද්‍යාලයෙන් ගුවන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ තත්ත්ව කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව වැනි පාඨමාලවන් රාශියක් හදාරා ඇත.

එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ නිළධාරීතුමන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සහකාර සාමාජිකයෙකු වන අතර එක්සත් රාජධානියේ ඉංජිනේරු කවුන්සිලයේ වරලත් ඉංජිනේරුවරයකු ද වේ. ඔහු ජාතියට කළ විශිෂ්ඨ සහ ආදර්ශවත් සේවය වෙනුවෙන් "උත්තම සේවා පදක්කම" සම්මානයෙන් පිදුම් ලබා ඇත.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි