ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කැඩෙට් නිලධාරි සාවින්දි 4 වැනි CISM හමුදා ශිෂ්‍යභට ක්‍රීඩා උළෙලේදී ද්විත්ව ලෝකඩ ජයග්‍රහණයක් ලබා ගනී.
10:53am on Tuesday 17th September 2024
දැනට ශිෂ්‍යභට පුහුණුව ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨ පිහිනුම් ක්‍රීඩිකාවක් වන කැඩෙට් නිලධාරි  සාවින්දි ජේඑම්එස් 2024 අගෝස්තු 16 සිට 24 වන දින දක්වා වෙනිසියුලාවේ පැවති 4 වැනි CISM හමුදා ශිෂ්‍යභට ක්‍රීඩා උළෙලේ දී මීටර් 50 නිදහස් ආර සහ මීටර් 100 පසුපස ආර තරගවලින් ලෝකඩ පදක්කම් දිනා ගනිමින් විශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

CISM Military World Cadet Games යනු ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) විසින් සංවිධානය කරන ලද විවිධ ක්‍රීඩා ඉසව් ඇතුලත් ජාත්‍යන්තර ක්‍රීඩා සංවිධානයක් වන අතර එහිදී ලොව පුරා සිටින හමුදා ශිෂ්‍යභට සාමාඡිකයින් විවිධ ක්‍රීඩා ඉසව්වන් සඳහා තරඟ කරයි. මෙම වසරේ, ක්‍රීඩා උළෙලට රුසියාව, චීනය සහ වෙනිසියුලාව ඇතුළු ප්‍රමුඛ රටවල සහභාගීත්වය දක්නට ලැබුණු අතර තරුණ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නම්වමින් ක්‍රීඩාවන් පිළිබඳ නව දැනුමක් එක් කරගැනීමට මෙම ක්‍රීඩා උළෙල ඔවුන්ට පිටුවහලක් විය. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් හමුදා ශිෂ්‍යභටයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම ක්‍රීඩා උළෙලේ විවිධ ක්‍රීඩා ඉසව්වන් සඳහා සහභාගී විය.

ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා, දක්ෂතා ඇති ක්‍රීඩකයින් ජාත්‍යන්තර ක්‍රීඩා වලදී විශිෂ්ටතා දැක්වීමට අවශ්‍ය සම්පත් හා දිරිගැන්වීමට සහ ඔවුන්ට සහාය වීම සඳහා නිරතුරුවම උත්සාහ කරයි.

ශ්‍රී ලංකාවට පැමිණි කැඩෙට් නිලධාරි  සාවින්දි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

කොළඹ විශාකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යභට නිලධාරිනී සාවින්දි තම පාසල් දිවිය පුරාවටම පිහිනුම් ක්‍රීඩාවට දස්කම් දක්වමින් පිහිනුම් ක්‍රීඩාවේ කීර්තිමත් පසුබිමක් ඇති තැනැත්තියකි. 2021 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වීමට පෙර ඇය 2019 වසරේ නේපාලයේ පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගනිමින් සහ 2018 වසරේ චීනයේ පැවති ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමන් වෙනුවෙන් නමක් දිනාගෙන ඇත.

 ශ්‍රී ලංකා ගුවන් හමුදා පිහිනුම් කණ්ඩායම නියෝජනය කරමින් 2022/2023 12 වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් පහක් දිනා ගැනීමට සමත් විය. මීට අමතරව, ඇය එම ක්‍රීඩා උළෙලේදීම රන් පදක්කම ලබා ගත් ගුවන් හමුදා කාන්තා ඡල ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකාවක් වූ අතර පසුව 2023 ජාතික ඡල ක්‍රීඩා ශූරතාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර 2024 ජනාධිපති කුසලාන ඡල ක්‍රීඩා තරඟාවලියේ කාන්තා ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි