ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය 73 වන සංවත්සරය සමරනු ලබයි
11:58am on Tuesday 17th September 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය  ජාතියේ විශිෂ්ඨතම ගුවන් නියමුවන් පුහුණු කිරීමේ දී එහි චිරස්ථිතික උරුමය සහ අඛණ්ඩ විශිෂ්ඨත්වය ඉස්මතු කරමින් 2024 සැප්තැම්බර් 01 වන දින සිය  73 වැනි සංවත්සරය අභිමානවත්ව සමරන ලදි.

1951 දී රාජකීය ලංකා ගුවන් හමුදාව ආරම්භ කරන ලද අතර  එම වසරේම ආරම්භ කරන ලද අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය ශ්‍රී ලංකාවේ හමුදා ගුවන් සේවා සඳහා අඩිතාලම දමමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම සහ එකම පියාසර පුහුණු පක්ෂාංගය බවට පත් විය.
‘හමුදා ගුවන් නියමුවන්ගේ තොටිල්ල’ ලෙසින් හඳුන්වනු ලබන අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය  දශක හතකට වැඩි කාලයක් ජාතියේ හමුදා ගුවන් නියමුවන් පුහුණු කිරීමේ අභියෝගාත්මක කර්තව්‍යය සාඩම්බරයෙන් භාරගෙන ඇත. ප්‍රධාන කාර්ය භාරයට අමතරව ගුවන් ගමනාගමන පාලක නිලධාරී පාඨමාලා ද පවත්වනු ලබන අතර ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් ඉහළ නැංවීමටද දායක වේ.

අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය  චිප්මන්ක් (Chipmunk) ගුවන් යානය සමඟ පියාසර පුහුණුව ආරම්භ කළ අතර වසර ගණනාවක් පුරා විවිධ ගුවන් යානා මෙහෙයවා මේ වන විට මූලික සහ අතරමැදි පියාසර පුහුණුව සඳහා PT-6 සහ සෙස්නා (Cessna) 150 පුහුණු ගුවන් යානා සහ ප්‍රහාරක  පියාසර පුහුණුවීම් සඳහා K-8 උප ධ්වනි ජෙට් යානය ඇතුළු ගුවන් යානා සමූහයකින් සමන්විත වේ. ගුවන් නියමුවන් 400කට අධික සංඛ්‍යාවක් සහ ගුවන් ගමනාගමන පාලක නිලධාරීන් 100කට අධික සංඛ්‍යාවක් මේ දක්වා මව් ජාතියට බිහි කිරීමට අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය සමත් වී ඇත

ජාතිය වෙනුවෙන් වසර 73 ක කැපවූ සේවය සැමරීම සඳහා පක්ෂාංගය විසින් සමාජ සත්කාර  වැඩසටහන් (CSR) මාලාවක් සංවිධානය කරන ලදී. 2024 අගෝස්තු 16 වන දින ත්‍රිකුණාමලය රේවත ළමා නිවාසයේ දී කණ්ඩායම් ගොඩනැගීම සහ කණ්ඩායම් හැඟීම වැඩිදියුණු කිරීමට උපකාරී වන චිත්‍රපටයක් දරුවන්ට රස විඳීමට අවස්ථාව ලබා දුන් අතර සන්ධ්‍යාවේ දරුවන්ට වෙත ප්‍රීතිමත් රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ ත්‍යාග සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීමද  සිදු කරන ලදී. පක්ෂාංගයේ සියලුම නිළධාරීන් සහ සෙසු නිලයන් මෙම කාර්යයට  උද්යෝගයෙන් සහභාගී වූහ.

තවද චීන වරාය කදවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩොර්  තුෂාර වීරරත්න ගේ මඟපෙන්වීම යටතේ අංක 1 පියාසර පුහුණු පක්‍ෂය විසින් රේවත ළමා නිවාසයේ ළමුන්ට Aero Bash අධ්‍යාපන ප්‍රදර්ශනය සහ සැණකෙළියට සහභාගි වීම සඳහා  පහසුකම් සලසන ලදී.  ඉන් අනතුරුව, 2024 අගෝස්තු 31 වන දින චීන වරායේ සමුද්‍රාසන්න විහාරස්ථානයේ ශ්‍රමදානයක් සහ බෝධි පූජා පුජාවක් පවත්වන ලදී .

අනතුරුව 2024 සැප්තැම්බර් 01 වන දින පක්ෂාංගයේ චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය පවත්වන ලද අතර වත්මන් අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චන්දන රත්නායක විසින් එය සමාලෝචනය කිරීමෙන් අනතුරුව චීන වරාය විද්‍යාපීඨ පරිශ්‍රයේ රුක් රෝපණ උත්සවයක් ද පවත්වන ලදී.

 මෙම සැමරුම් උත්සවයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙන අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගයේ සේවය කළ එක් ප්‍රධාන බළලත් නිලධාරි වරයෙක්, බළලත් නිලධාරීන් 04ක්, බල පංති සැරයන් 01ක්  සහ කෝප්‍රල්  වරුන් දෙදෙනෙකුගේ  සේවය ඇගයීමට ලක් කරන ලදී. .
අංක 1 පියාසර පුහුණු පක්‍ෂය මීළඟ පරම්පරාවේ හමුදා ගුවන් නියමුවන් සහ ගුවන් ගමනාගමන පාලක නිලධාරීන් පුහුණු කිරීම සඳහා කැපවී සිටින අතර, එය පරම්පරාවෙන් පරම්පරාවට මව්බිමේ ඉල්ලීම් අඛණ්ඩව ඉටු කරන බවට සහතික වේ.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි