ගුවන් හමුදා සේවා වනිතා ඒකකය 'පර්ල් බේ' ජල උද්‍යානයේ දී ප්‍රීතිමත් ලෝක ළමා දින සැමරුම් උත්සවය පවත්වයි
8:55pm on Saturday 5th October 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් 2024 වසරේ ලෝක ළමා දින සැමරුම් උත්සවය බණ්ඩාරගම 'පර්ල් බේ' ජල උද්‍යානයේ දී අඛණ්ඩව දෙවන වරටත් 2024 සැප්තැම්බර් 28 වන දින සාර්ථකව පවත්වන ලදී. සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය සහභාගී විය.

ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමඟ උත්සවය ආරම්භ වූ අතර, ඉන් අනතුරුව විශේෂ “go-karting” ධාවන තරඟයක් පැවැත්වන ලදී. දවස පුරා ළමයින්ට උද්‍යානයේ ජලය ආශ්‍රිත ආකර්ෂණීය ස්ථාන සමඟින් විවිධ විවේක ක්‍රියාකාරකම් භුක්ති විඳීමට හැකි විය. මෙම වසරේ ගුවන් හමුදා කඳවුරු ගණනාවක් නියෝජනය කරමින් ළමුන් 1500 කට අධික පිරිසක් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර සැමරුම් උත්සවය සදහා දරුවන්ට සහ දෙමාපියන්ට සහන මිලකට සහභාගී වීමට අවස්ථාව හිමි විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල සහ තාක්ෂණික ආයතන සමඟ එක්ව සංවිධානය කරන ලද විශේෂ අධ්‍යාපනික ප්‍රදර්ශනයක් මගින් ළමුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳව මගපෙන්වීමක් ලබා දෙන ලද අතර සමාරම්භක සහ සමාප්ති උත්සවය වර්ණවත් කරමින් යක්කල 'ඉදුවර' නර්තන ආයතනයේ සිසු සිසුවියන් විසන් සිත් ඇදගන්නාසුළු ප්‍රසංග ද මෙම අවස්ථාවට එක් කරන ලදි.

මෙම අවස්ථාවෙහි මාධ්‍ය සහකරු වන ‘ස්වර්ණවාහිනී’ විසින් සම්බන්ධීකරණය කරන ලද ගුවන් සුනඛ සංදර්ශනයක්, තූර්ය වාදක සංදර්ශනයක්, සරඹ සංදර්ශනයක්, මුහුණු පින්තාරු කිරීම සහ ළමුන් සඳහා විවිධ ක්‍රීඩා ඇතුළත් විය. ගුවන් හමුදා සංගීත තූර්ය වාදක කණ්ඩායම සමග සම්බන්ධ වී ළමයින්ට ඔවුන්ගේ ගායන කුසලතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දෙන ලදී. ප්‍රවීන කලා ශිල්පිනී සංගීත් විජේසූරියගේ නායකත්වයෙන් යුත් 'වායෝ' සංගීත කණ්ඩායම ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, දරුවන් සමඟ ප්‍රීතිය හා ආදරය බෙදා ගන්නා ගීත ගායනා කිරීම විශේෂත්වයකි. සැමරුම් උත්සවය සියලුම සහභාගිවන්නන් සඳහා සදාකාලික මතකයන් එක්කරමින් සාර්ථක නිමාවක් සනිටුවන් කරන ලදි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි