එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ නිලධාරිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි
12:17am on Friday 18th October 2024
එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ නිලධාරිතුමන් ජාතිය වෙනුවෙන් වසර 33කට වැඩි කාලයක් කැපවූ සේවය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් 2024 සැප්තැම්බර් 07 වන දින විශ්‍රාම යන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරීය.

එයාර් වයිස් මාර්ෂල් මහවත්තගේ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් 04 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමාගේ කාර්යාලයේදී නිල සමුගැනීමක් සිදු කරන ලදී. අපේ මාතෘභූමියට අවශ්‍ය වූ කාලවලදී ඔහු ප්‍රධාන කොටස්කරුවන්ගෙන් කෙනෙකු වූ බවත්, ඔහුගේ වීරෝදාර ඉතිහාසය ගුවන් හමුදා වංශ කතාවේ සටහන් වන බවත්  ගුවන් හමුදාධිපති අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපති සහ එයාර් වයිස් මාර්ෂල් මහවත්තගේ නිලධාරිතුමන් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී. ඔහු අවසන් වරට ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර, ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ඔහුට ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී. ජාතිය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට සේවාව අගයමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා මහත්මියගේ සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් එයාර් වයිස් මාර්ෂල් මහවත්තගේ නිලධාරිතුමන් හට සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්විණි. මෙම සුවිශේෂී අවස්ථාව එදින රාත්‍රියේ කොළඹ ගුවන් හමුදා මූලස්ථාන නිලධාරීන්ගේ ‍භෝජනාගාර පරිශ්‍රයේදී සිදු විය.

එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ නිලධාරිතුමන් 1989 නොවැම්බර් 14 වැනි දින රත්මලාන ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 7 වැනි පාඨමාලාවේ ශිෂ්‍යභට නිලධාරියකු ලෙස සිය හමුදා ගමන ආරම්භ කළේය. ඔහු මූලික සටන් පුහුණුව සාර්ථකව නිම කළ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හැදෑරීය. 1991 ඔක්තෝම්බර් 14 වන දින ඔහු ගුවන් සහ සාමාන්‍ය ඉංජිනේරු අංශයේ නියමු නිලධාරි තනතුරට පත් කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිය සේවා කාලය තුළ වසර 16ක් සිය වටිනා සේවය කැප කළ අංක 10 ප්‍රහාරක බලඝණයේ අණදෙන නිලධාරී නඩත්තුව වැනි ප්‍රධාන පත්වීම් රැසක් ඔහුට පැවරී ඇත. තවද, මාණ්ඩලික නිලධාරී ගුවන් ඉංජිනේරු I, Aeronautical Engineering III, General Engineering II, Aeronautical Engineering සඳහා අණ තත්ත්ව සහතික පරීක්ෂක, මෝටර් රථ ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී, සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්වීමට පෙර තත්ත්ව සහතික නිලධාරි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුවන් ඉංජිනේරු, අධ්‍යක්ෂ ගුවන් ඉංජිනේරු පිරිස් සහ සැලසුම් සහ ගුවන් හමුදා අධ්‍යක්ෂ ජනරාල් ගුවන් ඉංජිනේරු යන තනතුරු වල රාජකාරි කටයුතු සිදුකර ඇත.

අධ්‍යයන පරිපූර්ණත්වය කරා යන ගමනේදී එයාර් වයිස් මාර්ෂල් මහවත්තගේ නිලධාරිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරායේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව, පකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව, උපාය මාර්ගික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඇතුළු සන්ධිස්ථාන රැසක් සම්පූර්ණ කර ඇත. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති ඔහු ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ගුවන් යානා නඩත්තු ඉංජිනේරු බලපත්‍රයකටද හිමිකම් දරයි.

ඔහුගේ විශිෂ්ඨ සහ ආදර්ශමත් සේවාව වෙනුවෙන් ඔහු "උත්තම සේවා පදක්කම" සම්මානයෙන් පිදුම් ලබා ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවන අංශයේ සභාපතිවරයා ලෙසද ඔහු පත්වීම් දරයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි