වසර 9කට පසු 13 වන ආරක්ෂක සේවා පැරෂුට් ශූරතාවලියේදී ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායමට සුවිශේෂී ජයග්‍රහණ රැසක්
2:26pm on Tuesday 18th March 2025
2024/2025 13 වන ආරක්ෂක සේවා පැරෂුට් ශූරතාවලිය 2025 මාර්තු 13 සහ 14 යන දිනයන් හීදී ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර රෙජිමේන්තු පුහුණු පාසලේ සජීවි පැනුම් පිටියේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.

ක්‍රීඩකයින්ගේ නිරවද්‍යතාවය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ ගුවන් කුසලතාව පිළිබඳව ශූරතාවලියේදී පරීක්ෂා කරන ලදී. ඒ අනුව සමස්ත ඒකාබද්ධ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.

ගුවන් හමුදා කණ්ඩායම විශිෂ්ඨ දක්ෂතා දක්වමින් වසර නවයකට පසු ආකෘති ස්කයිඩයිවිං ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වූ අතර ඔවුන්ගේ සුවිශේෂී කුසලතා සහ නිරවද්‍යතාවය පෙන්නුම් කරමින් කණ්ඩායම් නිරවද්‍යතාවයෙන් රිදී පදක්කමද දිනා ගන්නා ලදී.

ශූරතාවලියේ පුද්ගලික දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් වික්‍රමරත්න පීජීඩී පිරිමි පුද්ගල නිරවද්‍යතාවයෙන් රිදී පදක්කම දිනා ගත් අතර, එම කාණ්ඩයේම ලෝකඩ පදක්කම ස්කොඩ්‍රන් ලීඩර් විදුරංග බණ්ඩාර දිනා ගන්නා ලදී. කාන්තා පුද්ගලික නිරවද්‍යතාවයෙන් නායක ගුවන් කාන්තා මධුභාෂිණී එම්කේඑච් රන් පදක්කම දිනා ගත් අතර, එහි රිදී පදක්කම හා ලෝකඩ පදක්කම පිළිවෙලින් නායක ගුවන් කාන්තා අමරසිංහ ඒඑම්සී සහ කෝප්‍රල් උදයකුමාරි කේකේඑස්එස් දිනා ගැනීමට සමත් විය.

ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානෝත්සවය ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් එම්ඩීකේ විජේවර්ධන නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර ගුවන් හමුදා පැරෂුට් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් සීජේ ගොඩකන්ද, ශ්‍රී ලංකා නාවික හමුදා පැරෂුට් සංචිතයේ සභාපති කමාන්ඩර් (එස්බීඑස්) ඩීජීකේජීටී කුමාර, ශ්‍රී ලංකා යුද හමුදා පැරෂුට් සංචිතයේ ලේකම් බ්‍රිගේඩියර් පීඑස්ජේඩී සමරසේකර, අග්නිදිග නාවික ප්‍රදේශයේ ප්‍රාදේශීය ආඥාපති රියර් අද්මිරාල් ජීඑච්එස්ඊ ද සිල්වා, අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීඑස්එම්එල්කේ සුගතදාස සහ මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේඑච්එම්එස්එස් බණ්ඩාර ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි