එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි
12:23pm on Tuesday 6th May 2025
ජාතියට කැපවූ වසර 36 ක සේවයක් සම්පූර්ණ කිරීමෙන් පසු එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න 2025 අප්‍රේල් 02 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දී  විශ්‍රාම යන ලදී. විශ්‍රාම යන අවස්ථාවේදී, ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරීය.

එයාර් වයිස් මාර්ෂල් වික්‍රමරත්න මහතා 2025 අප්‍රේල් 01 වන දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමු විය. ජාතියට සහ විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඔහු කළ සේවය හා වීරෝදාර ඉතිහාසය ශ්‍රී ලංකා ගුවන් හමුදා වංශකථාවේ සටහන් වන බවත් ගුවන් හමුදාපතිවරයා වැඩි දුරටත් අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාපති සහ එයාර් වයිස් මාර්ෂල් වික්‍රමරත්න අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් වික්‍රමරත්න මහතා අවසන් වරට ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර, ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ඔහුට ගෞරවනීය සම්මාන මුරයක් පිරිනමන ලද අතර ජාතියට කරන ලද විශිෂ්ට සේවය අගයමින්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් කොළඹ ගුවන් හමුදා මූලස්ථාන නිලධාරී භෝජනාගාරයේදී පැවැත්විණි.

1970 අප්‍රේල් 02 වැනි දින උපත ලද එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි. 1989 ඔක්තෝම්බර් 04 වන දින 21 වන බඳවා ගැනීම‍ෙ කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදා දිවිය ආරම්භ කරන ලදී.1992 ජුලි 17 වන දින, ඔහුගේ පුහුණුව අවසන් වීමෙන් පසුව පිළිවෙළින් දියතලාව ගුවන් හමුදා කඳවුරේ නිලධාරි ශිෂ්‍යභට මූලික සටන් පුහුණු පාඨමාලාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 15 රෙජිමේන්තු නිලධාරි ශිෂ්‍යභට ශාඛාවේ පුහුණු පාඨමාලාව, මෙන්ම මූලික හා උසස් පරිපාලන පාඨමාලා ඇතුළු පාඨමාලා රශියක් සාර්ථකව නිම කළේය.  

එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න ගෞරවනීය සම්මාන හා ඇගයීම් රාශියකින් පිදුම් ලබා ඇති අතර, ඔහුගේ සුවිශේෂී නිර්භීතකම, නොසැලෙන කැපවීම සහ විශිෂ්ට සේවය අවධාරණය කරයි. අසමසම ධෛර්යය සහ ඔරොත්තු දීමේ හැකියාව විදහා දක්වමින් සතුරා හමුවේ ඔහු කළ නිර්භීත ක්‍රියාවන් අගයමින් 1998 දී ඔහුට ගෞරවනීය "රණ වික්‍රම පදක්කම" (RWP) පිරිනමන ලදී. මීට අමතරව, රාජකාරිය සහ විශිෂ්ඨත්වය සඳහා වූ ඔහුගේ නොසැලෙන කැපවීම පිළිබිඹු කරමින් ඔහුගේ කීර්තිමත් සහ ආදර්ශවත් සේවය අගයමින් "ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිගු සේවා පදක්කම" ඔහුට පිරිනමා ඇත. තවද, ඔහුගේ විශිෂ්ට කැපවීම සහ නිර්දෝෂී හැසිරීම "උත්තම සේවා පදක්කම" මෙන්ම,  එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල සඳහා ඔහුගේ දායකත්වය ජාත්‍යන්තර වේදිකාව මත ඔහුගේ සැලකිය යුතු බලපෑම සහ නායකත්වය ප්‍රදර්ශනය කරමින් එක්සත් ජාතීන්ගේ පදක්කම (HAITI) සමඟින් ගෞරවයට පාත්‍ර වී ඇත.

ඔහුගේ ගෞරවනීය වෘත්තීය ජීවිතය තුළ ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ සුවිශේෂී නායකත්වයක් සහ මෙහෙයුම් විශේෂඥතාවක් පෙන්නුම් කර ඇත. දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී, අම්පාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී, ගුවන් හමුදා කොග්ගල කඳවුරේ අණදෙන නිලධාරී, ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී, ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්ෂාංගයේ අණදෙන නිලධාරී සහ අණදෙන නිලධාරී වැනි ප්‍රධාන තනතුරු දරා ඇත. පුහුණු ක්‍ෂේත්‍රය තුළ, ගුවන් භටයන් සහ නිලධාරි ශිෂ්‍යභටයින් යන දෙඅංශයෙන්ම පුහුණු කිරීමේදී ඔහු සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කර ඇති අතර, ගුවන් හමුදා පුහුණු කඳවුරුවල වැදගත් උපදේශක පත්වීම් රාශියක් දරා ඇත.

Farewell Call on

Guard of Honour

Customary Dining Out

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි