ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී පත් කරන ලදී
12:27pm on Tuesday 6th May 2025
එයාර් වයිස් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොළ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2025 අප්‍රේල් 02  වන දින පත් කරන ලදී.  එයාර් වයිස් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොළ මහතා වෙත නිල වශයෙන් පත්වීමේ ලිපිය භාර දුන් අතර අලුතින් පත් කරන ලද නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වෙත ගුවන් හමුදාපතිතුමන්  විසින් සුභ පැතුම් එක් කළේය.

එයාර් වයිස් මාර්ෂල් කැප්පෙටිපොළ 1992 දියතලාව ගොඩබිම් සටන් පුහුණු ඒකකයෙන් මූලික සටන් පුහුණුව, මූලික පරිපාලනය සහ උසස් පරිපාලනය සාර්ථකව නිම කළේය. ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක ශාස්ත්‍රවේදී උපාධිය හදාරා දෙවැනි උපාධිය ලබා ගත් අතර එහිදී ඉහළ සාමාර්ථය සමඟින් “තාක්ෂණික නොවන විෂය ධාරාවේ හොඳම සමස්ත ශිෂ්‍යයා” බවට පත් වෙමින් 1992 නොවැම්බර් 14 දින පරිපාලන ශාඛාවේ අධිකාරීලත් නිලධාරියකු ලෙස සේවය ආරම්භ කරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් කැප්පෙටිපොල 2002 වසරේ මාණ්ඩලික විද්‍යාලයේ අංක 4 කනිෂ්ඨ අණ පාඨමාලාවට සහභාගී වූ අතර, 2001 වසරේ ඉන්දියාවේ කොයිම්බතූර් හි ගුවන් හමුදා පරිපාලන විද්‍යාලයේ අංක 202 කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාව හැදෑරීය. 2011 වසරේ සපුගකන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) පාඨමාලා අංක 5 ට සහභාගි විය. 2002 දී ඔහු චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධ්‍යයන අධ්‍යක්ෂක (DAS) ලෙස අනුයුක්ත කර වසර 4ක් සාර්ථකව සම්පූර්ණ කළේය.

එයාර් වයිස් මාර්ෂල් කැප්පෙටිපොල මහතා සිය වෘත්තීය ඡීවිතයේදී පුද්ගල කළමනාකරණය හා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාවක් සහ සහතික ලත් මානව සම්පත් විගණකාධිවරයෙකු ද වේ. ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, පාකිස්තානයේ ඉස්ලාමාබාද් ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ජාතික ආරක්ෂාව සහ යුද අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. වරලත් පුද්ගල කළමනාකරණ ආයතනයේ වරලත් සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනයේ සාමාජිකයෙකු වන අතර 2012 වර්ෂයේදී පුහුණු හා සංවර්ධන ජාතික මානව සම්පත් විශිෂ්ටතා සම්මානය දිනාගත්තේය. එයාර් වයිස් මාර්ෂල් කැප්පෙටිපොල 2010 වසරේ විංග් කමාන්ඩර්වරයෙකු වශයෙන් ගුවන් හමුදාපතිවරයා විසින් ඇගයීමට ලක් කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි