ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා අංශය ක්‍රීඩා විද්‍යාව සහ ආචාර ධර්ම පිළිබඳ වැඩමුළුවක් පවත්වයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා අංශය විසින් 2025 අගෝස්තු 06 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ‘ක්‍රීඩා කායික විද්‍යාව, පුහුණු මූලධර්ම සහ ක්‍රීඩා ආචාර ධර්ම’ යන මැයෙන් එක්දින වැඩමුළුවක් පවත්වන ලදී. මෙම අවස්ථාවට ශාරීරික පුහුණු උපදේශකයින්, ක්‍රීඩා සංචිත ක්‍රීඩකයින්, සම්බාහන ශිල්පීන් සහ පුහුණුකරුවන් ඇතුළු 140 කට අධික පිරිසක් සහභාගී විය. වෘත්තීය ක්‍රීඩා විද්‍යාව පිළිබඳ සහභාගිවන්නන්ගේ න්‍යායාත්මක හා ප්‍රායෝගික අවබෝධය වැඩි දියුණු කිරීම මෙම වැඩමුළුවේ අරමුණ විය. 

ක්‍රීඩා කායික විද්‍යාව පිළිබඳ සැසිය ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක, ගෲප් කැප්ටන් (ආචාර්ය) ෂෙරිකා සමරසිංහ විසින් මෙහෙයවන ලදී. හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශේෂිත අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් ව්‍යායාම කායික විද්‍යාව, කාර්ය සාධනය වැඩි දියුණු කිරීම, තුවාල වැළැක්වීම සහ සුවවීමේ උපාය මාර්ග වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ඇයගේ ඉදිරිපත් කිරීම මගින් ආවරණය කරන ලදී.

පුහුණු මූලධර්ම සහ ක්‍රීඩා ආචාර ධර්ම පිළිබඳ දෙවන සැසිය ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා විසින් පවත්වන ලදී. සාක්ෂි මත පදනම් වූ පුහුණු ක්‍රමවේද, මනෝවිද්‍යාත්මක තත්ත්වය සහ තරඟකාරී ක්‍රීඩා වලදී අඛණ්ඩතාව, සාධාරණ ක්‍රීඩාව සහ විනයෙහි වැදගත්කම ඔහු ඉස්මතු කරන ලදී.

ජාතික හා ජාත්‍යන්තර හොඳම පිළිවෙත්වලට අනුකූලව, ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ උපදේශකයින් අතර පුහුණු ප්‍රමිතීන්, ශාරීරික යෝග්‍යතාවය සහ සදාචාරාත්මක හැසිරීම ශක්තිමත් කිරීමේ අරමුණින්, ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමදෝරු සුරේෂ් ජයසිංහ නිලධාරිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩමුළුව පැවැත්විය.

මෙම සැසිය සහභාගිවන්නන්ට විෂය කරුණු පිළිබඳ විශේෂඥයින් සමඟ සම්බන්ධ වීමට, පැහැදිලි කිරීම් ලබා ගැනීමට සහ ක්‍රීඩා විද්‍යාවේ සහ ආචාර ධර්මවල වත්මන් වර්ධනයන් සමඟ ඔවුන්ගේ චර්යාවන් පෙළගැස්වීමට වටිනා අවස්ථාවක් සපයන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි