2024 - 2025 ගුවන් හමුදා වර්ණ රාත්‍රියේදී ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පුද කරන ලදී.
2024–2025 ගුවන් හමුදා වර්ණ රාත්‍රිය 2026 ජුනි 02 වන දින අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් භෝජන සංග්‍ර සහ සම්මේලන ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස උත්සවය පැවැත්විය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහ ඔහුගේ බිරිඳ වන ආචාර්ය රසිකා පෙරේරා මහත්මිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ඔහුගේ බිරිඳ වන ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. 

ද්විවාර්ෂිකව පවත්වනු ලබන ගුවන් හමුදා වර්ණ රාත්‍රිය ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු දෙනාගේ කැපවීම, කැපකිරීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සඳහා උපහාර දක්වයි. මෙම වසරේදී ක්‍රීඩා විෂයයන් 33 ක් ඇගයීමට ලක් කරන ලදී. ක්‍රීඩක ක්‍රීඩිකාවන්  206 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ ලබා ගන්නා ලදී. ඊට අමතරව සමාලෝචන කාලය තුළ කැපී පෙනෙන දස්කම් දැක්වූ සුවිශේෂී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුට ගෝල්ඩන් ඊගල් සම්මාන පිරිනමන ලදී.

පළමු විධිමත් ගුවන් හමුදා වර්ණ රාත්‍රිය 1964 දී රාජකීය ලංකා ගුවන් හමුදාව විසින් පවත්වන ලදී. එම අවස්ථාවෙහිදී චීන වරාය ගුවන් අනතුරකින් මියගිය දිවංගත ෆ්ලයිට් ලුතිනන් අප්පාපිල්ලෙයි වරතරසා සිහි කිරීම සඳහා 1962 සහ 1963 සඳහා වර්ණ සමඟ වසරේ වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩකයාට හිමි කුසලානය වරතරසා අනුස්මරණ කුසලානය ලෙස නම් කරන ලදී. ඒ අනුව 1962 දී කීර්තිමත් වරතරසා කුසලානයේ පළමු ලබන්නා බවට පත් වූයේ බලපංති සැරයන් බර්ටි ඒකනායක ය. ගුවන් හමුදා වර්ණ ලබාගත් පළමු කාන්තාව වූයේ 1985 දී වෙඩි තැබීම සඳහා වර්ණ ලබා ගත් නායක ගුවන් කාන්තා හදුන්සූරිය කේ.එම්.පී.කේ ය.

2024/2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ රාත්‍රියේදී  කැපී පෙනෙන ක්‍රීඩා ජයග්‍රහණ සහ සේවා ක්‍රීඩා සඳහා ආදර්ශමත් දායකත්වයන් හඳුනාගෙන සමරන ලදී. ප්‍රධාන සම්මානලාභීන් අතර ගුවන් භට ප්‍රනාන්දු එම්.ඒ.එස් සහ ගුවන් භට කෞෂාන් එස්.එස්.එම් පිළිවෙලින් 2024 සහ 2025 හොඳම රග්බි ක්‍රීඩකයින් ලෙස එයාර් චීෆ් මාර්ෂල් හැරී ගුණතිලක අනුස්මරණ කුසලානයෙන් පිදුම් ලැබූහ. සැරයන් ද සොයිසා ඒ.එස්.එම් (දුනු ශිල්ප කළමනාකරු) සහ සැරයන් ජානක ආර්.ඩී.පී (කැරම් කළමනාකරු) පිළිවෙලින් 2024 සහ 2025 දී වඩාත්ම කැපවූ ක්‍රීඩා පෞරුෂය සඳහා එයාර් චීෆ් මාර්ෂල් ඩී.සී පෙරේරා අනුස්මරණ කුසලානය ලබා ගන්නා ලදී. කාන්තා හෑන්ඩ්බෝල් කණ්ඩායම සහ කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම වඩාත්ම කැපී පෙනෙන කාන්තා කණ්ඩායම් ලෙස තේරී පත් විය. පිරිමි දුනු ශිල්ප කණ්ඩායම සහ පිරිමි මල්ලවපොර කණ්ඩායම 2024 සහ 2025 සඳහා වඩාත්ම කැපී පෙනෙන පිරිමි කණ්ඩායම් යන ශූරතා දිනා ගන්නා ලදී. ෆ්ලයින් ඔෆිසර් ජේ.එම්.එස්  සවින්දි (පිහිනුම්) සහ නායක ගුවන් භට ගුරුගම ජී.ජී.ජී.ඩී.ටී (බර ඉසිලීම) වඩාත් කැපී පෙනෙන ඉදිරි ක්‍රීඩා පෞරුෂයන් ලෙස පිළිගැනීමට ලක් විය. ගෘෘප් කැප්ටන් රොජර් වීරසිංහ අනුස්මරණ කුසලානය ලබා ගත්හ. කාන්තා අංශයෙන් සැරයන් ප්‍රනාන්දු එස්.ඩබ්ලිව්.අයි.පී (ක්‍රිකට්) සහ කෝප්‍රල් කාවින්දි ටී.ජී.ටී (කැරම්) විශිෂ්ටතම ක්‍රීඩිකාව සඳහා අනුශූරතාව දිනා ගත් අතර, කෝප්‍රල් කාවින්දි ටී.ජී.ටී (කැරම්) සහ කෝප්‍රල් ප්‍රනාන්දු එම්.ඒඑන්.එච් (මලල ක්‍රීඩා) පිළිවෙලින් 2024 සහ 2025 සඳහා විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස ගෞරවයට පාත්‍ර විය.

පිරිමි අංශයෙන් නායක ගුවන් භට දිසානායක එච්.ඒ.එස්.එම් (බර ඉසිලීම) සහ කෝප්‍රල් ෂහීඩ් එම්.එච්.එම් (කැරම්) පිළිවෙලින් 2024 සහ 2025 දී විශිෂ්ටතම ක්‍රීඩක සම්මාන සඳහා අනුශූරතාව දිනා ගන්නා ලදී. විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි කීර්තිමත් ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඒ. වර්තරාසා අනුස්මරණ කුසලානය 2024 දී කෝප්‍රල් පීරිස් පී.කේ.එන් (කැරම්) සහ කෝප්‍රල් තරංග පී.ආර් (මලල ක්‍රීඩා) වෙත පිරිනමන ලදී. ඒකක මට්ටමින් විශිෂ්ටත්වය අගයමින් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය 2024/2025 සඳහා හොඳම ක්‍රීඩා ඒකකයට අනුශූරතාවය ලබා ගනිමින් එයාර් චීෆ් මාර්ෂල් එම්.ජේ.ටී ද එස් ගුණවර්ධන අනුස්මරණ කුසලානය ලබා ගන්නා ලදී. ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරට 2024/2025 සඳහා හොඳම ක්‍රීඩා ඒකකයට හිමි වර්නන් රාජපක්ෂ අනුස්මරණ කුසලානය පිරිනමන ලදී.

ප්‍රධාන සම්මාන කාණ්ඩවලට අමතරව අංගම්පොර කණ්ඩායම, භූමි ඉදිකිරීම් සහ නඩත්තු කාර්ය මණ්ඩලය, භෞත චිකිත්සකයින් සහ සම්බාහනය කරන්නන් සඳහා විශේෂ පිළිගැනීමේ සහතික පිරිනමන ලදී.

ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙනෙවිරත්න, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, විශේෂ ආරාධිතයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ක්‍රීඩා සංස්කාරකවරුන් සහ වඩාත්ම වැදගත් ලෙස, ක්‍රීඩා ජයග්‍රාහකයින්ගේ පවුලේ සාමාජිකයින් මෙම උත්කර්ෂවත් උත්සවයට සහභාගී විය. එහිදී විවිධ ක්‍රීඩා විෂයයන්හි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර දැක්වන ලදී.

අවසාන වශයෙන් 2024–2025 වර්ණ රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා රැස්ව සිටි පිරිස අමතමින් උපහාර උළෙලේදී සිය අදහස් ප්‍රකාශ කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි