එයාර් වයිස් මාර්ෂල් සුමේධ ද සිල්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගනියි
වසර 36 කට අධික කාලයක් මාතෘභූමිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ එයාර් වයිස් මාර්ෂල් සුමේධ ද නිලධාරිතුමන් 2026 අගෝස්තු 24 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් නිල වශයෙන් විශ්‍රාම ගන්නා ලදී. විශ්‍රාම ලබන විට ඒ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලදී.

විශ්‍රාම ලැබීමට පෙර, එයාර් වයිස් මාර්ෂල් සුමේධ ද සිල්වා මහතා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමු වී සිය නිල සමුගැනීමේ හමුව පැවැත්වීය. දශක තුනකට වැඩි කාලයක් පුරා පැතිරුණු සිය අභිමානවත් සේවා කාලය තුළ ජාතියට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉටුකළ කැපවූ සේවය මෙහිදී ගුවන් හමුදාපතිවරයාගේ පැසසුමට ලක්විය. විශේෂයෙන්ම ප්‍රධාන ගුවන් පථ සහ යටිතල පහසුකම් සැලසුම් කිරීම, ඉදිකිරීම, පුනරුත්ථාපනය සහ ශ්‍රේණිගත කිරීම සඳහා ඔහු දැක්වූ දායකත්වය අගය කළ ගුවන් හමුදාපතිවරයා, ඔහුගේ වෘත්තීයභාවය සහ තාක්ෂණික දැනුම ගුවන් හමුදාව තුළ නොමැකෙන මතකයක් ලෙස පවතිනු ඇති බව සඳහන් කරන ලදී. මෙම හමුව සලකුණු කරමින් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ගුවන් හමුදා මූලස්ථානයෙන් අවසන් වරට නිල ඇඳුමින් නික්ම ගිය එයාර් වයිස් මාර්ෂල් සුමේධ ද සිල්වා මහතා වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වර්ණ බලඝණය  (SLAF Colour Wing) විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඔහු ඉටුකළ විශිෂ්ට සේවය අගයමින් ගුවන් හමුදා මූලස්ථානයේ නිලධාරී භෝජනාගාරයේදී (Officers’ Mess) විශේෂ සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විය. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන එයාර් වයිස් මාර්ෂල් සුමේධ ද සිල්වා මහතා 1990 නොවැම්බර් 03 වන දින 8 වන කැඩේට් නිලධාරී කණ්ඩායමේ (Intake 8) සාමාජිකයෙකු ලෙස ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට (KDU) ඇතුළත් විය. 1992 නොවැම්බර් 14 වන දින ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් පථ ඉදිකිරීම් අශයේ  (Airfield Construction Branch) පයිලට් නිලධාරියෙකු (Pilot Officer) ලෙස අධිකාරියට පත් කරන ලදී.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙමින් අණදෙන සහ මාණ්ඩලික තනතුරු රැසක් හෙබවීය. මොරවැව, දියතලාව, පලාලි, රත්මලාන, මාන්කුලම්, චීන වරාය, කටුනායක සහ කොළඹ යන ගුවන් හමුදා කඳවුරුවල වැඩ ඉංජිනේරු නිලධාරී (Works Engineer) ලෙස සේවය කළ ඔහු, පසුව ක්ෂණික ගුවන් පථ අලුත්වැඩියා බලකායේ (Rapid Runway Repair Wing) සහ ගුවන් පථ ඉදිකිරීම් බලකායේ අණදෙන නිලධාරියා ලෙස ද කටයුතු කරන ලදී.

මීට අමතරව, සිවිල් ඉංජිනේරු මාණ්ඩලික නිලධාරී-I, ජ්‍යෙෂ්ඨ සිවිල් ඉංජිනේරු මාණ්ඩලික නිලධාරී, ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථාන සංකීර්ණ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරී, සිවිල්, යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වැනි ප්‍රධාන තනතුරු රැසක් ද හෙබවීය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් (BSc) ලබා ඇති ඒ මහතා, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) සංකලිත සාමාජිකයෙකු ද වේ. ඔහු චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණදෙන සහ මාණ්ඩලික පාඨමාලාව, පාකිස්ථානයේ ගුවන් යුධ විද්‍යාලයේ (Air War College) ජ්‍යෙෂ්ඨ අණදෙන සහ මාණ්ඩලික පාඨමාලාව, සිංගප්පූරුවේ ගුවන් පථ තල නිර්මාණ හා ඇගයීම් පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ Pacific Unity පාඨමාලාව, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාමාර්ග ද්‍රව්‍ය පරීක්ෂණ ඩිප්ලෝමාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ගුණාත්මක කළමනාකරණ ඩිප්ලෝමාව, මොරටුව විශ්වවිද්‍යාලයේ උසස් Auto-CAD පාඨමාලාව, බත්තරමුල්ල උසස් බාහිර සංවර්ධන පුහුණු ආයතනයේ මාර්ග ඉදිකිරීම් සංවර්ධන වැඩසටහන සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උසස් හමුදා තාක්ෂණ පාඨමාලාව වැනි විශේෂිත පුහුණු පාඨමාලා රැසක් සාර්ථකව නිම කර ඇත.

ගුවන් පථ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පැවති විශිෂ්ට නායකත්වය, තාක්ෂණික කුසලතාව සහ පූර්ව අත්දැකීම් හේතුවෙන් ප්‍රධාන ගුවන් පථ සංවර්ධන ව්‍යාපෘති රැසකටම ඔහු සක්‍රීයව දායක විය. ඉරණමඩු, මුලතිව්, අනුරාධපුර සහ මඩකලපුව ගුවන් පථ ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම, Airbus A320 ගුවන් යානා මෙහෙයවීමට හැකි වන පරිදි හිඟුරක්ගොඩ ගුවන් පථය ජාත්‍යන්තර මට්ටම දක්වා උසස් කරමින් ප්‍රතිසංස්කරණය කිරීමට ද ඔහු පුරෝගාමී විය.

ඔහු ඉටුකළ විශිෂ්ට සේවය, කැපවීම සහ ආදර්ශමත් චරිතය අගයමින් "උත්තම සේවා පදක්කම" (USP) ඇතුළු සේවා හා අනුස්මරණ පදක්කම් රැසකින් ද ඔහු පිදුම් ලැබීය. වසර 36 කට අධික කැපවූ සේවයකින් පසු විශ්‍රාම යන එයාර් වයිස් මාර්ෂල් සුමේධ ද සිල්වා මහතාගේ වෘත්තීය ගෞරවය, තාක්ෂණික කුසලතාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යටිතල පහසුකම් නැංවීමට දැක්වූ දායකත්වය සැමදා ගුවන් හමුදාව තුළ අගය කරනු ඇත.

Farewell call on

Guard of honour

Dining out
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි