ගුවන් හමුදාපතිතුමන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් භට විවාහක නිවාස ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කරයි
ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය හා ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින්, කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් භට විවාහක නිවාසවල සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 සැප්තැම්බර් 02 වන දින නිරීක්ෂණය කරන ලදී.

ගුවන් හමුදාපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් අමිත් ජයමහ මහතාගේ නායකත්වය සහ අධීක්ෂණය යටතේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි. ජනාවාස නොවී අබලන්ව පැවති නිවාස රැසක් ප්‍රතිසංස්කරණය කර, ගුවන් හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් සඳහා ආරක්ෂිත මෙන්ම උසස් නේවාසික පහසුකම් බවට පත්කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙම වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය සඳහා විවාහක නිවාස 30 ක් හඳුනාගෙන ඇති අතර, ඒ අතරින් නිවාස 7 ක වැඩකටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත. තවත් නිවාස 15 ක ප්‍රතිසංස්කරණ කටයුතු දැනට සිදුකෙරෙමින් පවතින අතර, නිම කරන ලද නිවාස මෙම වසර අවසන් වීමට පෙර භාරදීමට නියමිතය. මීට අමතරව, පදිංචිකරුවන්ගේ ප්‍රවේශ පහසුව සහ පරිසරයේ සමස්ත ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා එම නිවාස වෙත දිවෙන ප්‍රවේශ මාර්ග ද පිළිසකර කෙරේ.

මෙම නිරීක්ෂණ චාරිකාව අතරතුරදී, සිදුවෙමින් පවතින ඉදිකිරීම්වල ප්‍රගතිය සමාලෝචනය කළ ගුවන් හමුදාපතිතුමා, නියමිත ඉදිකිරීම් ප්‍රමිතීන්ට අනුකූලව වැඩකටයුතු කාලෝචිත ලෙස නිමකිරීමේ වැදගත්කම අවධාරණය කළේය. පවතින යටිතල පහසුකම් ඵලදායී ලෙස භාවිතයට ගනිමින් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් ගුවන් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සුරක්ෂිත හා ගෞරවනීය ජීවන වටපිටාවක් තහවුරු කිරීමට ගුවන් හමුදාව දක්වන කැපවීම මූර්තිමත් වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි