ශ්‍රී ලංකා ගුවන් හමුදා රංගන කලා අංශය, එක්සත් ජනපද ගුවන් හමුදා පැසිෆික් වාද්‍ය වෘන්දය සමඟ එක්ව විචිත්‍රවත් මහජන ප්‍රසංගයක් පවත්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රංගන කලා අංශය, ඇට්ලස් ඒන්ජල් II අභ්‍යාසයට සමගාමීව 2026 සැප්තැම්බර් 04 වන දින කොළඹ ආකේඩ් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවති විචිත්‍රවත් මහජන ප්‍රසංගයක් සඳහා එක්සත් ජනපද ගුවන් හමුදා පැසිෆික් වාද්‍ය වෘන්දය සමඟ එක්විය.

ශ්‍රී ලාංකික සහ ඇමරිකානු සංගීත නිර්මාණයන්, නර්තන අංග සහ දෙරටේ රංගන කලා ශිල්පීන්ගේ ඒකාබද්ධ ඉදිරිපත් කිරීම් රැසකින් මෙම ප්‍රසංගය සමන්විත වූ අතර, ඇට්ලස් ඒන්ජල් II අභ්‍යාසය අතරතුර දෙරටේ සංගීතඥයින් විසින් සිදුකළ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම් සහ පුහුණු සැසි තුළින් වර්ධනය වූ සංගීතමය සහයෝගීතාවද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.

ඇට්ලස් ඒන්ජල් II අභ්‍යාසය පුරා වර්ධනය වූ සහයෝගීතාව, සංස්කෘතික හුවමාරුව සහ මිත්‍රත්වය මෙම ප්‍රසංගය තුළින් මනාව පිළිබිඹු වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ එක්සත් ජනපද ගුවන් හමුදාවේ සංගීතඥයින් එකම වේදිකාවකට එක්ව සිය කලා හැකියාවන් ශ්‍රී ලාංකික ජනතාව සමඟ බෙදාහදා ගත්හ.

මහජනතාව සඳහා නොමිලේ විවෘතව පැවති මෙම ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්, රංගන කලා අධ්‍යක්ෂක සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිලධාරී ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්, සංචාරකයින්, ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම්වල සාමාජිකයින්, පාසල් සිසුන්, සංගීත ලෝලීන් ඇතුළු විශාල පිරිසක් මෙම ප්‍රසංගය නැරඹීම සඳහා එක්ව සිටි අතර, ඔවුන්ගේ උද්යෝගිමත් සහභාගීත්වය හේතුවෙන් වැඩසටහන පුරාම විචිත්‍රවත් හා සජීවී වාතාවරණයක් නිර්මාණය විය.

මෙම සුවිශේෂී ප්‍රසංගය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ එක්සත් ජනපද ගුවන් හමුදාව අතර පවතින සහයෝගීතාව හා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, සංගීතය හා සංස්කෘතිය තුළින් දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම සඳහාද වැදගත් අවස්ථාවක් බවට පත්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි