එයාර් වයිස් මාර්ෂල් රාජින්ත් ජයවර්ධන ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයෙන් සමුගනී
වසර 34ක දීර්ඝ හා කැපවූ සේවා කාලයක් සම්පූර්ණ කරමින් එයාර් වයිස් මාර්ෂල් රාජින්ත් ජයවර්ධන මහතා  2026 සැප්තැම්බර් මස 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලදී. විශ්‍රාම ගන්නා අවස්ථාවේදී එතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුබසාධන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලදී  .

විශ්‍රාම යාමට පෙර එයාර් වයිස් මාර්ෂල් රාජින්ත් ජයවර්ධන මහතා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා වෙත නිල සමුගැනීමේ හමුවක් සඳහා සහභාගි විය. මෙහිදී දශක තුනකට අධික කාලයක් පුරා විහිදුණු සිය සේවා දිවිය තුළ රටට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදුන් සුවිශේෂී හා කැපවූ සේවය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිවරයා විසින් එයාර් වයිස් මාර්ෂල් රාජින්ත් ජයවර්ධන මහතාගේ සේවය ඇගයීමට ලක් කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිවරයා සහ එයාර් වයිස් මාර්ෂල් රාජින්ත් ජයවර්ධන මහතා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදී.

 එයාර් වයිස් මාර්ෂල් රාජින්ත් ජයවර්ධන මහතා ගුවන් හමුදා මූලස්ථානයෙන් අවසන් වරට නිල ඇඳුමින් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් පිරිනමන ලද සම්මාන මුරයක් මගින් ගෞරව කරන ලදී.

එතුමා විසින් රටට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදුන් විශිෂ්ට හා කැපවූ සේවය අගයමින්, එතුමා වෙනුවෙන් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් කොළඹ ගුවන් හමුදා මූලස්ථාන නිලධාරී නිවස්නයේදී පැවැත්විය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ අනෙකුත් සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

එයාර් වයිස් මාර්ෂල් රාජින්ත් ජයවර්ධන මහතා 1992 නොවැම්බර් මාසයේදී ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය වෙත නිලධාරි ආධුනිකයෙකු ලෙස එක් වූ අතර 1994 දෙසැම්බර් මාසයේදී ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිපාලන අංශයේ  නියමු නිලධාරියෙකු ලෙස අධිකාරියට පත් විය.

සිය සේවා දිවිය පුරා වෘත්තීය හා අධ්‍යාපනික දැනුම සහ කුසලතා වර්ධනය කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ එතුමා 2004 වසරේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කොයිම්බතූර්හිදී කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව හදාරන ලදී. 2010 වසරේදී සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පූර්ණ මාණ්ඩලික පාඨමාලාව (psc) සම්පූර්ණ කරන ලදී. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ ආරක්ෂක අධ්‍යයනයේ විද්‍යාපති උපාධියක්ද ලබා ගන්නා ලදී. 2022 වසරේදී බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි කීර්තිමත් ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජාතික ආරක්ෂක විද්‍යාල පාඨමාලාව (ndc) සාර්ථකව සම්පූර්ණ කළ එතුමා බංග්ලාදේශ වෘත්තීය විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂාව හා සංවර්ධනය පිළිබඳ සමාජ විද්‍යා ශාස්ත්‍රපති උපාධියක්ද හිමිකර ගන්නා ලදී.

එයාර් වයිස් මාර්ෂල් රාජින්ත් ජයවර්ධන මහතා සිය කීර්තිමත් සේවා දිවිය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අණදීම, පුහුණුව සහ මාණ්ඩලික කටයුතු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වැදගත් තනතුරු රැසක් හොබවා ඇත. විශේෂයෙන්ම, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය, ගුවන් හමුදා කඳවුර වවුනියාව සහ ගුවන් හමුදා කඳවුර අනුරාධපුර යන ප්‍රධාන ගුවන් හමුදා කඳවුරු තුනෙහි පිරිස් සේවා භාර නිලධාරී ලෙස කටයුතු කර ඇත. චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පරිපාලන අධ්‍යක්ෂක මාණ්ඩලික නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසත්, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යක්ෂක මාණ්ඩලික නිලධාරීවරයෙකු ලෙසත් සේවය කර ඇත.

ගුවන් හමුදා මූලස්ථානයේදී පරිපාලන මාණ්ඩලික නිලධාරී සහ ගුවන් හමුදාපතිවරයාගේ වැඩබලන ගුවන් ලේකම්වරයා ඇතුළු වැදගත් තනතුරු කිහිපයක්ද හොබවා ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදා  වීරවිල කඳවුරෙහි  අණදෙන නිලධාරීවරයා ලෙසත්, පසුව ගුවන් හමුදා මූලස්ථානයේ ස්වේච්ඡා බලකා අණදෙන නිලධාරීවරයා ලෙසත් කටයුතු කරන ලදී. එතුමාගේ නායකත්ව හැකියාවන් තවදුරටත් විදහා දක්වමින් පිරිස් පරිපාලන අධ්‍යක්ෂවරයා සහ කාන්තා පක්ෂයේ අණදෙන නිලධාරීවරයා ලෙසද කටයුතු කර ඇත.

එයාර් වයිස් මාර්ෂල් රාජින්ත් ජයවර්ධන මහතා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මෙට්‍රොපොලිටන් මණ්ඩපයේ රෙක්ටර්වරයා ලෙසද සේවය කර ඇත. පසුව, ගුවන් හමුදා කඳවුර කටුනායකහි වැඩබලන කඳවුරු අණදෙන නිලධාරීවරයා ලෙස පත්වූ එතුමා පරිපාලන අංශයේ  නිලධාරියෙකු ලෙස එම තනතුර හෙබවූ පළමු නිලධාරියා ලෙස ඉතිහාසගත විය. එතුමා ප්‍රොවොස්ට් මාර්ෂල්වරයා ලෙසද කටයුතු කරන ලදී.

වෘත්තීය වගකීම්වලින් ඔබ්බට ගොස් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළද දස්කම් දැක්වූ එයාර් වයිස් මාර්ෂල් රාජින්ත් ජයවර්ධන මහතා ගොල්ෆ්, ටෙනිස් සහ ස්කොෂ් ක්‍රීඩා සඳහා ක්‍රීඩකයෙකු මෙන්ම නිලධාරියෙකු ලෙසද ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කර ඇත. එතුමා මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

රටට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදුන් සුවිශේෂී හා කැපවූ සේවය අගයමින් එයාර් වයිස් මාර්ෂල් රාජින්ත් ජයවර්ධන මහතා උත්තම සේවා පදක්කම (USP) මගින්ද පිදුම් ලබා ඇත.

Farewell call on


Guard of honour

Dining out
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි