ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් වෙත ප්‍රහාරක යානා පාලක සහ භාණ්ඩ ප්‍රවාහන නිලධාරී පදක්කම් පිරිනැමේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අදාළ ක්ෂේත්‍රයන්හි අවශ්‍ය පුහුණුව හා සුදුසුකම් සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් සහ ගුවන් භටයින් වෙත ප්‍රහාරක යානා පාලක (Fighter Controller) සහ භාණ්ඩ ප්‍රවාහන නිලධාරී (Load Master) පදක්කම් පිරිනැමීමේ උත්සවයක් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාව සඳහා සහභාගි විය. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් මහතා, සැපයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ග්ලැඩ්වින් අතපත්තු මහතා, ගුවන් ගමනාගමන සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් නන්දික සල්ගාදු මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2026 මාර්තු   මාසයේදී ඉන්දියාවේ ලක්නව්හි පිහිටි ගුවන් ආරක්ෂක විද්‍යාලයේදී ප්‍රහාරක යානා පාලක පුහුණු පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ස්කොඩ්‍රන් ලීඩර් ජේ.ඒම්.ඒම්.ඒස්.ඒස් ජයසිංහ සහ ස්කොඩ්‍රන් ලීඩර් කේ.ටී.ඒල්  විජේරත්න යන නිලධාරීන් වෙත ප්‍රහාරක යානා පාලක පදක්කම් පිරිනමන ලදී.

සාජන්ට් ඒච්.පී.සී ලසන්ත කුමාර සහ කෝප්‍රල් ඒම්.ඩී.ඩී.ඒම්  ප්‍රියන්ත යන ගුවන් භටයින් වෙත භාණ්ඩ ප්‍රවාහන නිලධාරී පදක්කම් පිරිනමන ලදී. ඔවුන් දෙදෙනා Mi-17 හෙලිකොප්ටරයෙහි පියාසර පැය 50ක පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර ඇති අතර සුදුසුකම් ලත් හෙලිකොප්ටර් උපදේශකවරයෙකු සහ ප්‍රධාන භාණ්ඩ ප්‍රවාහන නිලධාරීවරයා විසින් පවත්වන ලද අවසන් ප්‍රායෝගික පරීක්ෂණයද සාර්ථකව සමත් වී ඇත.

මෙම පදක්කම් පිරිනැමීම මගින් අදාළ විශේෂිත පුහුණුව සාර්ථකව සම්පූර්ණ කිරීම සනිටුහන් වන අතර තම තමන්ගේ ක්ෂේත්‍රයන්හි මෙහෙයුම් විශේෂඥතාව වර්ධනය කර ගැනීම සඳහා පදක්කම්ලාභීන් විසින් ප්‍රදර්ශනය කළ වෘත්තීයභාවය, කැපවීම සහ අධිෂ්ඨානයද මෙමගින් පිළිබිඹු වෙයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි