ගුවන් සේවා වෛද්‍ය විද්‍යාව, මානසික සෞඛ්‍යය සහ පෝෂණය පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මියන්මාර් ගුවන් හමුදාව අතර විශේෂඥ දැනුම් හුවමාරු වැඩසටහනක් පැවැත්විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මියන්මාර් ගුවන් හමුදාව අතර වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ විශේෂඥ දැනුම් හුවමාරු වැඩසටහනක් (Medical Subject Matter Expert Exchange – SMEE) 2026 සැප්තැම්බර් මස 28 වන දින සිට ඔක්තෝබර් මස 01 වන දින දක්වා රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහලේදී සාර්ථකව පැවැත්විය.

ශ්‍රී ලංකා–මියන්මාර් ප්‍රථම ගුවන් හමුදා මාණ්ඩලික සාකච්ඡාවලින් අනතුරුව ආරම්භ කරන ලද මෙම වැඩසටහනේ අරමුණ වූයේ ගුවන් සේවා වෛද්‍ය විද්‍යාව, මානසික සෞඛ්‍යය සහ පෝෂණය යන ක්ෂේත්‍රයන්හි වෘත්තීය සහයෝගීතාව ශක්තිමත් කිරීම, දෙරටේ ගුවන් හමුදා අතර අන්තර් සබඳතා වර්ධනය කිරීම සහ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමයි.

ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන රත්මලාන ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරිනී ගෲප් කැප්ටන් (වෛද්‍ය) ප්‍රියදර්ශනී විජයනායක මහත්මියගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක කරන ලදී. ගුවන් කාර්ය මණ්ඩල තෝරා ගැනීම සහ නැවත සහතික කිරීම, ගුවන් වෛද්‍ය ඉවත් කිරීමේ ක්‍රමවේදය (Aeromedical Evacuation – AMET), ගුවන් කාර්ය මණ්ඩල තෝරා ගැනීමේදී සිදුකරන මනෝවිද්‍යාත්මක පරීක්ෂණ සහ ගුවන් නියමුවන් හා ගුවන් කාර්ය මණ්ඩලය මුහුණ දෙන පෝෂණ අභියෝග ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව මෙම වැඩසටහනේදී අවධානය යොමු කරන ලදී.

මියන්මාර් ගුවන් හමුදාවේ තිදෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය නියෝජිත කණ්ඩායමක් මෙම වැඩසටහන සඳහා සහභාගී විය. ඔවුන් විසින් සිය ගුවන් හමුදාව තුළ ක්‍රියාත්මක ගුවන් සේවා වෛද්‍ය ක්‍රමවේද සහ වෘත්තීය අත්දැකීම් පිළිබඳව අදහස් හා දැනුම බෙදාහදා ගන්නා ලදී.

මෙම දැනුම් හුවමාරු වැඩසටහන මගින් ගුවන් සේවා වෛද්‍ය විද්‍යාව සහ ඊට අදාළ වෛද්‍ය ක්ෂේත්‍රයන්හි තාක්ෂණික දැනුම, මෙහෙයුම් අත්දැකීම් සහ හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීමට දෙරටේ ගුවන් හමුදාවන්ට වැදගත් අවස්ථාවක් උදා විය. එකිනෙකාගේ ක්‍රියාමාර්ග, විශේෂඥ දැනුම සහ වෘත්තීය ප්‍රවේශයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද හැකි විය.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මියන්මාර් ගුවන් හමුදාව අතර වෘත්තීය සබඳතා සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් ශක්තිමත් විය. ගුවන් සේවා වෛද්‍ය විද්‍යාව සහ ඊට අදාළ වෛද්‍ය ක්ෂේත්‍රයන්හි අඛණ්ඩ සම්බන්ධතා, දැනුම් හුවමාරුව සහ අනාගත සහයෝගීතා සඳහා නව අවස්ථාද නිර්මාණය විය.

මෙම වැඩසටහනේ සමාප්ති උත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් දිනේෂ් ජයවීර මහතාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි