ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් සහ කාන්තා කැඩෙට් නිලධාරිනියන් අධිකාරියට පත් කිරීමේ සහ පියාසර ලාංඡන ප්‍රදානය කිරීමේ පෙළපාලිය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පැවැත්විය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කැඩෙට් නිලධාරීන් සහ කාන්තා කැඩෙට් නිලධාරිනියන් අධිකාරියට පත් කිරීමේ සහ පියාසර ලාංඡන ප්‍රදානය කිරීමේ පෙළපාලිය 2026 ඔක්තෝබර් මස 16 වන දින පෙරවරුවේ චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විය. මෙහිදී නවක නිලධාරීන් සහ නිලධාරිනියන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධිකාරියට පත්වෙමින් මාතෘභූමියේ ගුවන් සීමාව ආරක්ෂා කිරීමේ උදාර වගකීම භාරගන්නා ලදී.

මෙම ඓතිහාසික අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සහභාගී විය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

ගෲප් කැප්ටන් චමිල් හෙට්ටිආරච්චි නිලධාරිතුමාගේ අණදීම යටතේ අධිකාරියට පත් කිරීමේ සහ පියාසර ලාංඡන ප්‍රදානය කිරීමේ පෙළපාලිය ආරම්භ විය. මෙහිදී නිලධාරි කැඩෙට් නිලධාරීන් 29 දෙනෙකු සහ කාන්තා නිලධාරි කැඩෙට් නිලධාරිනියන් 14 දෙනෙකු ඇතුළුව නිලධාරීන් 43 දෙනෙකු අධිකාරියට පත් කරන ලදී.

මෙලෙස අධිකාරියට පත් වූ නිලධාරීන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 65, 67 සහ 69 නිලධාරි කැඩෙට් පාඨමාලා, අංක 21 කාන්තා නිලධාරි කැඩෙට් පාඨමාලාව සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අංක 37, 39 සහ 40 පාඨමාලාවන් නියෝජනය කරන ලදී. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 39 වන පාඨමාලාවට අයත් ෆ්ලයිං ඔෆිසර්වරයෙකු වෙත පියාසර ලාංඡනය (Wings) ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කරන ලදී.

මෙම උත්සව අවස්ථාව වඩාත් විචිත්‍රවත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ වර්ණ පක්ෂාංගය විසින් අලංකාර සරඹ සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම ගුවන් හමුදා පැරෂුට් භටයින් විසින් ගුවනේ විවිධ හැඩතල නිර්මාණය කරමින් විචිත්‍රවත් පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී. මීට අමතරව අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය විසින් ඉදිරිපත් කරන ලද ගුවන් යානා සමූහ පියාසර සංදර්ශනය සහ විශ්මයජනක ගුවන් කරණම් සංදර්ශනය උත්සවයේ අභිමානය තවදුරටත් ඉහළ නංවන ලදී.

මෙම අභිමානවත් අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් අමල් පෙරේරා ඇතුළු ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී විය. ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙන්ම අධිකාරියට පත් වූ නවක නිලධාරීන්ගේ දෙමාපියන් සහ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

මෙම උත්සවයේදී පුහුණු කාලසීමාව තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ නිලධාරි කැඩෙට් නිලධාරීන් සහ කාන්තා නිලධාරි කැඩෙට් නිලධාරිනියන් ඇගයීමට ලක් කරමින් විශේෂ සම්මාන ප්‍රදානය කිරීම ද සිදු කරන ලදී.

විශේෂ සම්මානලාභීන්

පියාසර ලාංඡනය (Flying Brevet)

ෆ්ලයිං ඔෆිසර් පී.වී. බිනදිත්

සාමාන්‍ය රාජකාරි නියමු අංශයේ දක්ෂතම නිලධාරි කැඩෙට් නිලධාරියා (Sword of the Eagle)
පයිලට් ඔෆිසර් ආර්.එම්.එච්.කේ. රත්නායක

සෑම අංශයකින්ම දක්ෂතම නිලධාරි කැඩෙට් නිලධාරියා (Sword of Honour)
පයිලට් ඔෆිසර් එච්.ජී.ඩබ්ලිව්.ඩී. ජයරත්න

ගුවන් මෙහෙයුම් අංශයේ දක්ෂතම නිලධාරි කැඩෙට් නිලධාරියා
පයිලට් ඔෆිසර් වයි.එම්.ඩී.පී. බණ්ඩාර

ගගන ඉංජිනේරු අංශයේ දක්ෂතම නිලධාරි කැඩෙට් නිලධාරියා
පයිලට් ඔෆිසර් එම්.බී.එම්. උයාර

තොරතුරු තාක්ෂණ ඉංජිනේරු අංශයේ දක්ෂතම නිලධාරි කැඩෙට් නිලධාරියා
පයිලට් ඔෆිසර් බී.පී. සචින්ත

රෙජිමේන්තු අංශයේ දක්ෂතම නිලධාරි කැඩෙට් නිලධාරියා

පයිලට් ඔෆිසර් ටී.එච්.කේ. මෙන්ඩිස්

සැපයුම් අංශයේ දක්ෂතම නිලධාරි කැඩෙට් නිලධාරියා
පයිලට් ඔෆිසර් එස්.ආර්. ඇලෙක්සැන්ඩර්

පරිපාලන අංශයේ දක්ෂතම නිලධාරි කැඩෙට් නිලධාරියා
පයිලට් ඔෆිසර් එච්.ජී.ඩබ්ලිව්.ඩී. ජයරත්න

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි