එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 32ක කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කළ එයාර් වයිස් මාර්ෂල් අසිත මහතා 2026 ඔක්තෝබර් මස 20 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලදී. විශ්‍රාම යන අවස්ථාව වන විට ඒ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ රාජකාරී ඉටු කරන ලදී.

විශ්‍රාම යාමට පෙර එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි මහතා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවී නිල වශයෙන් සමුගන්නා ලදී. එහිදී දශක තුනකට අධික කාලයක් පුරා මාතෘභූමියට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉටු කළ කීර්තිමත් හා කැපවූ සේවය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි මහතාගේ සේවය ඇගයීමට ලක් කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

අනතුරුව ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි මහතා වෙත සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී. ඉන් අනතුරුව ඒ මහතා නිල ඇඳුමින් සැරසී අවසන් වරට ගුවන් හමුදා මූලස්ථානයෙන් නික්ම යනලදී.

මාතෘභූමියට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉටු කළ විශිෂ්ට සේවය අගයමින් ඒ මහතා වෙනුවෙන් විශේෂ සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් කොළඹ ගුවන් හමුදා මූලස්ථාන නිලධාරී නිවස්නයේදී සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී විය.

එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි මහතා 1994 අගෝස්තු මස 09 වන දින චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ 28 වන නිලධාරී කැඩෙට් බඳවා ගැනීමට එක්විය. 1996 මැයි මස 08 වන දින සැපයුම් අංශයේ  නියමු නිලධාරියෙකු ලෙස අධිකාරියට පත් විය. එහිදී ඒ මහතා ගුවන් භාණ්ඩ පැටවීමේ නිලධාරියෙකු (Load Master) ලෙස රාජකාරී ඉටු කරමින් යුද ගැටුම් පැවති තීරණාත්මක කාලවකවානුවලදී AN-32 ගුවන් යානා ආශ්‍රිත මෙහෙයුම් පියාසර පැය රැසක් සම්පූර්ණ කරමින් විශිෂ්ට සේවයක් ඉටු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ තොරතුරු තාක්ෂණ යුගයේ ආරම්භයත් සමඟ දූරදර්ශී නායකයෙකු ලෙස කටයුතු කළ එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි මහතා සිය විශේෂඥ දැනුම හා අත්දැකීම් උපයෝගී කරගනිමින් 2000 වර්ෂයේදී තොරතුරු තාක්ෂණ ඉංජිනේරු අංශය ස්ථාපිත කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලදී. එමඟින් ගුවන් හමුදාවේ තාක්ෂණික හැකියාවන් සැලකිය යුතු ලෙස වර්ධනය කිරීමට ඒ මහතා දායක විය.

සිය සේවා කාලය පුරා වෘත්තීය හා අධ්‍යාපනික සුදුසුකම් රැසක් සපුරාගත් ඒ මහතා චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව හදාරා ආරක්ෂක උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ගන්නා ලදී. අනතුරුව මැලේසියාවේ Asia e University වෙතින් තොරතුරු ආරක්ෂාව පිළිබඳ විධායක ශාස්ත්‍රපති උපාධියක් ද හිමිකර ගන්නා ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිය කීර්තිමත් සේවා කාලය තුළ එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි මහතා අණදීමේ, පුහුණු සහ මාණ්ඩලික ක්ෂේත්‍රයන්හි වැදගත් තනතුරු රැසක් හොබවා ඇත. තොරතුරු තාක්ෂණ අංශයේ භාර නිලධාරී ලෙස සිය සේවය ආරම්භ කළ ඒ මහතා දැක්වූ කැපවීම සහ වෘත්තීය නිපුණත්වය හේතුවෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගයේ අණදෙන නිලධාරී ලෙස පත් විය. එහිදී ස්වයංක්‍රීයකරණ පද්ධති සංවර්ධනය කිරීම සඳහා නායකත්වය ලබාදෙමින් ගුවන් හමුදා මෙහෙයුම් නවීකරණය කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ලදී.

ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අංක 02 තොරතුරු තාක්ෂණ පක්ෂාංගයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ කාලය තුළ ගුවන් හමුදාවේ ප්‍රධාන දත්ත සන්නිවේදන ජාලය සංවර්ධනය කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැදගත් මෙහෙවරක් ඉටු කළ අතර එමඟින් ගුවන් හමුදාව පුරා විශ්වසනීය හා ආරක්ෂිත සන්නිවේදන පහසුකම් තහවුරු කිරීමට දායක විය.

ගුවන් හමුදා මූලස්ථානයේදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ මාණ්ඩලික නිලධාරී I සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී ඇතුළු වැදගත් තනතුරු කිහිපයක් ද ඒ මහතා විසින් හොබවන ලදී. කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ කාලය තුළ නියමුවන් රහිත ගුවන් යානා (UAV) පිළිබඳ පර්යේෂණ, සංවර්ධන කටයුතු සහ මෙහෙයුම් සඳහා යොදාගැනීමේ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වයක් ලබා දෙමින් නවීන යුද මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ උපායමාර්ගික හැකියාවන් වර්ධනය කිරීමට දායක විය.

2023 වර්ෂයේදී එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ධුරයට පත් කරන ලදී. එම ධුරයේ රාජකාරී ඉටු කළ කාලය තුළ තොරතුරු ආරක්ෂාව ඉහළ නැංවීම සහ ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂණ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ අතර ඩිජිටල් යුගයේ අභියෝගවලට මුහුණ දීම සඳහා ගුවන් හමුදාවේ හැකියාවන් වර්ධනය කිරීමට දායක විය.

ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ මඟපෙන්වීම යටතේ ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධති (National Education Management Information System – NEMIS) ව්‍යාපෘතිය මෙහෙයවීමට ඒ මහතා කටයුතු කරන ලදී. අග්‍රාමාත්‍යතුමියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික ඩිජිටල් කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක වන මාර්ගගත ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ අනුකමිටුවේ සාමාජිකයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කරන ලදී.

සිය මෙහෙයුම් හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි ජයග්‍රහණවලට අමතරව එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඔරු පැදීමේ සහ කයාකිං සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරමින් ගුවන් හමුදාව තුළ ක්‍රීඩාශීලීත්වය සහ සාමාජිකයින් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා දායක විය.

මාතෘභූමිය වෙනුවෙන් ඉටු කළ කීර්තිමත් හා කැපවූ සේවය ඇගයීමට ලක් කරමින් එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි මහතා වෙත උත්තම සේවා පදක්කම (USP) ද පිරිනමා ඇත.

Farewell call on

Guard of honour

Dining out
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි