ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාවි කඳවුර 19 වන සංවත්සරය අභිමානයෙන් සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාවි කඳවුර ස්ථාපිත කර වසර 19ක් සපිරීම නිමිත්තෙන් සංවත්සර සැමරුම් උත්සවය 2026 නොවැම්බර් මස 01 වන දින අභිමානවත් අයුරින් පවත්වන ලදී.

මෙම සුවිශේෂී අවස්ථාව කඳවුරේ අභිමානවත් ඉතිහාසය, මෙතෙක් අත්කරගත් ජයග්‍රහණ සහ ජාතික ගුවන් අවකාශයේ ආරක්ෂාව වෙනුවෙන් ඉටුකරන ලද කැපවූ සේවය පිළිබඳව ආවර්ජනය කිරීමට මෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙවර හා අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඉදිරියටත් කැපවීමෙන් කටයුතු කිරීමේ අධිෂ්ඨානය යළිත් තහවුරු කිරීමේ අවස්ථාවක් විය.

සංවත්සර සැමරුම් වැඩසටහන ආරම්භ කරමින් කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව්.එම්.ඒ. කුමාරසිරි නිලධාරීතුමාගේ නිරීක්ෂණය යටතේ සාම්ප්‍රදායික වැඩ පෙළපාලියක් පැවැත්විය. කඳවුරේ සේවයේ නියුතු සියලුම සාමාජිකයින්ගේ කැපවීම, විනය සහ රාජකාරි කෙරෙහි ඇති වගකීම ඇගයීමට ලක් කිරීම සඳහා මෙම වැඩ පෙළපාලිය වැදගත් අවස්ථාවක් විය.

සංවත්සර සැමරුමට සමගාමීව ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස පුත්තලම දිස්ත්‍රික් මූලික රෝහලේ මාතෘ හා නාරිවේද වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ මහජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කඳවුර දක්වන අඛණ්ඩ කැපවීම මනාව පිළිබිඹු විය.

සංවත්සර වැඩසටහනට සමගාමීව ආදායම් උත්පාදනයේ ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස පොල් පැළ 500ක් රෝපණය කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කරන ලදී. මීට අමතරව, කඳවුරේ සියලුම නිලයන් නියෝජනය කරමින් සේවා පුද්ගලයින් සහ සිවිල් සේවකයින්ගේ සහභාගීත්වයෙන් එල්ලේ තරගයක් ද සංවිධානය කර තිබූ අතර අනතුරුව ගුවන් භට භෝජනාගාරය මඟින් සියලුම නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි